FAST NEWS

24×7 Around the Globe

මොරගහකන්ද ව්‍යාපෘතියෙන් නිවාස අහිමිවූ ජනතාවට අංග සම්පූර්ණ නව නගරයක්….

 

මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් වූ පවුල් 3000 ක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව ලග්ගල නගරයේ ඉදිකිරීම් මේ වන විට අවසන් මට්ටමේ පවතින අතර එය ජනවාරි 08 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජනතා අයිතියට පවරාදීමට නියමිතය.

මෙම නගරය නවීන පහසුකම්වලින් සමන්විත අංග සම්පූර්ණ නගරයක් වන අතර අනාගත අවශ්‍යතාවයන් සලකා බලමින් හා නව නාගරික සංකල්පය වන, උද්‍යාන නගර සංකල්පයට අනුව මෙම නගරය සැලසුම් කර තිබෙන අතර, මුළු ආයෝජනය රුපියල් මිලියන 4500 කි.

නගරයේ මුළු භූමි ප‍්‍රමාණය හෙක්ටයාර් 75 වපසරියකින් යුක්තය.

අලුත් පොලිස් ස්ථානයක්, ඒකක කළමනාකරණ කාර්යාලයක්, සමූපකාර ගොඩනැගිලි සංකිර්ණයක්, ප‍්‍රාදේශීය සභා ගොඩනැගිල්ලක්, ප‍්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයක්, අලුත් මහා විද්‍යාල 03 ක්, කනිටු විද්‍යාල 02 ක්, නව රෝහල් සංකීර්ණයක්, නව සෞඛ්‍ය මධ්‍යස්ථානයක්, පොදු ක්‍රීඩාංගණයක්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයක්, මහජන පොළක් හා පොදු වෙළෙඳ සංකීර්ණයක්, බස් නැවතුම්පළක් හා නව තැපැල් කාර්යාලයක් සහ නව බැංකු හා මූල්‍ය ආයතන රැසක් ඇතුළු රාජ්‍ය ආයතන 26 ක් නව ලග්ගල නගරයට අයත්ය.

මෙම රාජ්‍ය ආයතන වෙනුවෙන් ගොඩනැගැලි 112 ක් ඉදිකර තිබෙන අතර ඒ වෙනුවෙන් පමණක් වැය කර ඇති මුදල රුපියල් මිලියන 2043 ක් බව වාර්තා වෙයි.

නගරය ඉදිකිරීම සදහා තෝරා ගනු ලැබූ භූමිය ප‍්‍රදේශයේ ජනතාව විසින්ම තෝරාගනු ලැබීම විශේෂත්වයක් වන අතර, නව නගරය සැලැසුම් කිරීමේදී ස්වභාවික සම්පත්වලින් උපරිම ප‍්‍රයෝජන ලබා ගැනීම, ජනගහනය කේන්ද්‍රගතවීම වැනි කරුණු සැලකිල්ලට ගෙන තිබෙන අතර, ස්වභාවික ආපදාවන්ට ඔරොත්තුදීමේ හැකියාව ඇති පරිසරයක් වීම ද වැදගත් කරුණකි.

මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතිය නිසා ඉඩම් අහිමි වූ ජනතාවට මෙරට වැඩිම වන්දි මුදල ලබාදීමට කටයුතු කළ අතර එම මුදල රුපියල් කෝටි 1100ට අධික වේ.