ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ කටයුතු පක්ෂ සභාපති, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි හෙට (28) සිට සතියක කාලයක් වසා දමා එහි කාර්ය මණ්ඩලයට නිවාඩු ලබාදී ඇති බව වාර්තා වෙයි.
මේ වන විට තායිලන්තයේ පෞද්ගලික සංචාරයක් සඳහා ගොස් සිටින සිටින ජනපතිවරයා නැවත දිවයිනට පැමිණීමෙන් අනතුරුව පක්ෂ මූලස්ථානයේ කටයුතු සාමාන්‍ය පරිදි නැවත ආරම්භ කිරිමට නියමිතය.
වසර 67 ක ශ්‍රීලනිප ඉතිහාසය තුළ පක්ෂ මූලස්ථානය පළමුවරට මෙලෙස වසා දැමූ බව පක්ෂ සාමාජිකයෙක් පැවසීය.
පක්ෂ මූලස්ථානයේ කාර්ය මණ්ඩලයට නිවාඩු ලබා දීමට තීරණය කරනු ලැබුවේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් විශාල පිරිසක් විදේශගත වී සිටින නිසාත්, පක්ෂයේ නිලධාරීන් වසර අවසාන නිවාඩු ගත කිරීම සඳහා විවිධ ප්‍රදේශවලට ගොස් සිටින නිසා බවත් ශ්‍රීලනිප මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය.








