FAST NEWS

24×7 Around the Globe

රංජන් රාමනායකට එරෙහි පැමීණිල්ල පිළිබඳ පරික්ෂණ අැරඹෙයි..

පාර්ලිමේන්තු තුළදී පසුගියදා පිහියක් පෙන්වමීන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් තමාට මරණ තර්ජන එල්ල කළ බවට එකස්ත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව වැලිකඩ පොලීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (21) දැනුම් දුන්නේය.
වැලිකඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් අස්මඩලේ මහතා සිද්ධියට අදාළව වාර්තාවක් මගින් අධිකරණයට කරුණු දැනුම්දෙමින් මේ බව දැනුම් දුන්නේය.
පසුගිය 15 වැනිදා පාර්ලිමේන්තු සභා රැස්වීමක් පැවැත්වූ බවත්, මෙම රැස්වීම අවස්ථාවේදී මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඉන්දික අනුරුද්ධ මහතාට පිහියක් පෙන්වමින් ‘ඉස්සරහට ආවොත් මරනවා’ යැයි කියමින් තමාට මරණීය තර්ජන එල්ල කළ බවත්, ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාද ඒ අසල පිහියක් අතැතිව සිටි බවත් පැමිණිල්ලේ සඳහන් බව පොලිසිය අධිකරණය වෙත දැනුම් දුන්නේය.
මෙම සිද්ධිය වූ ස්ථානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත සහ දිලුම් අමුණුගම මහත්වරුන් සිටි බවත් පැමිණිල්ලේ සඳහන් යැයි අධිකරණයට දැනුම් දුන් පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදු කරන්නේ යැයිද වැඩි දුරටත් දැනුම් දුන්නේය.