FAST NEWS

24×7 Around the Globe

බහුතරය පෙන්වන්නැයි ජනපති කියයි (නිවේදනය)

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා සිටියහොත් ඒ අනුව ව්‍යවස්ථානුකූලව කටයුතු කළ හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පෙරමුණේ සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන්ට ඊයේ (15) සවස පැවති සාකච්ජාවේදි දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.
කථානායක, එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ, දෙමළ ජාතික සන්ධානය සහ ජනපති අතර හමුවක්.
 ‘‘ශ්‍රී  ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක කරූ ජයසූරිය මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂ හා දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය.
පැය දෙකක පමණ දීර්ඝ කාලයක් පුරා පැවති මෙම සාකච්ඡාවේ දී රටේ පවතින දේශපාලන තත්ත්වය පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් කෙරිණි.
එහිදී පාර්ලිමේන්තුවේ බහුතරය තමන් සතු වන බව ප්‍රකාශ කළ එම පක්ෂ නායක කණ්ඩායම එය පිළිගන්නා ලෙස ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටි අතර, තමන් සෑමවිටම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන බවත්, ඊට ගරු කරන බවත් ජනාධිපතිතුමා අවධාරණය කළේය.
ඒ අනුව පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය ගරු කරමින් තම බහුතරය නියමානුකූලව පෙන්වා සිටින ලෙස ජනාධිපතිතුමා ඔවුන්ට දැනුම් දුන්නේය.
ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවේ අංක 01 වගන්තිය ඉවත් කිරීම සහ යළි හෙට දිනයේ දී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු වූ අතර,  ඡන්ද විමසීම මන්තී‍්‍රවරුන්ගේ නමින් සිදු කරන ලෙස ජනාධිපතිතුමා නියෝජිත පිරිසගෙන් ඉල්ලා සිටියේ ය.
ඊට අනුව පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්නැයි ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් ව්‍යවස්ථානුකූලව කටයුතු කළ හැකි බව නියෝජිත පිරිසට දැනුම් දුන්නේ ය.
එසේම පාර්ලිමේන්තුව තුළ සාමය තහවුරු කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ස්ථාවර නියෝගවලට අනුව කටයුතු කරන ලෙස ගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.
ජනාධිපති මාධ්‍ය අංශය
2018-11-15‘‘