FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන මැතිවරණ මාස තුනක් ඇතුළත..

මාස තුනක් ඇතුළතදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව තමාට දැනුම් දෙන්නැයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මැතිවරණ කොමිසමට දැනුම් දී ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.
මේ වනවිට පළාත් සභා හයක නිල කාලය අවසන් වී ඇති අතර එම පළාත්වල කටයුතු අඩපණ වී තිබිම නිසා පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බැවින් ඒ සම්බන්ධයෙන් ඇති හැකියාව සොයා බලා තමාට වාර්තාවක් දෙන්නැයි ද ජනාධිපතිවරයා මෙසේ මැතිවරණ කොමිසමට දැනුම් දී ඇත.
දකුණ හා බස්නාහිර පළාත් සභාවල නිල කාලය ලබන අප්‍රේල් මාසයේදී අවසන් වන අතර ඌව පළාත් සභාවේ නිල කාලය ඔක්තෝබර් මාසයේදී අවසන් වීමට නියමිතය.
මේ නිසා පළාත් සභා නවයේම මැතිවරණය එකම දිනයකදී පැවැත්වීමට හැකි බවද මැතිවරණ කොමිසම ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.
ඒ අනුව කොට්ඨාස හා සමානුපාතික මිශ්‍ර නව ක්‍රමයට මැතිවරණය පවත්වන්නේ නම්,එය කළ යුතු ආකාරය පිළිබඳවත් පැරණි මනාප ක්‍රමයට මැතිවරණය පවත්වන්නේ නම්, එය කළ යුතු ආකාරය පිළිබඳවත් මැතිවරණ කොමිසම විසින් ඉකුත් සිකුරාදා (02) ජනාධිපතිවරයාට වාර්තාවක් භාර දී ඇතැයි ජනාධිපති කාර්යාලයීය ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම වාර්තාව අධ්‍යයනය කර මාස තුනක් ඇතුළතදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ජනාධිපතිවරයා විසින් අවශ්‍ය කටයුතු කරනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.