FAST NEWS

24×7 Around the Globe

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩුවේ විත්තියේ දේශන කැඳවයි..

බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු සන්තකයේ තබා ගත්තේ යැයි චෝදනා එල්ල වී සිටින පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ විත්තියේ දේශන ලබන 25 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා මෙන් කොළඹ මහාධිකරණය අද(15) නියම කළේය.
ඇලන් මැතිනියාරාම විහාරස්ථානයේ සිටියදී අත්අඩංගුවට ගන්නා ලද අලි පැටවාට බලපත්‍රයක් නොමැති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පැමිණිල්ල වෙනුවෙන් පෙනි සිටින ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා තම දේශනය ඉදිරිපත් කරමින් අධිකරණය වෙත සඳහන් කර සිටියේය.
ඒ පිළිබඳව අධිකරණය හමුවේ සාක්ෂි මඟින් ද කරුණු සනාථ කර ඇතැයි සඳහන් කළ රජයේ නීතිඥවරයා එම අලි පැටවා විත්තිකාර ධම්මාලෝක හිමියන්ගේ ස්වාමිත්වය තිබූ බවට කරුණු තහවුරු වී ඇතැයි ද කියා සිටියේය.
2015 වසරේ ජනවාරි මස 28 වන දා හෝ ඊට ආසන්න දිනයක දී නාරාහේන්පිට, ඇලන් මැතිනියාරාම විහාරස්ථානයේ තුළ බලපත්‍ර නොමැතිව අලි පැටවකු සන්තකයේ තබාගැනීම තුළින් පොදු දේපල පනත සහ ස්වභාවික වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.