FAST NEWS

24×7 Around the Globe

විදෙස් අපරාධකරුවනට වැට බඳින්න තායිලන්ත නි. අගමැති මාසයක් කල්දෙයි

අපරාධ ක්‍රියා සඳහා සුරක්ෂිත ස්ථානයක් ලෙස තායිලන්තය අනිසි ලෙස භාවිත කරමින් කල් ඉකුත් වූ වීසා උපයෝගී කර ගනිමින් තායිලන්තයේ රැඳී සිටින විදේශිකයින්ගේ වීසා අත්හිටුවීම හෝ ඔවුන් තායිලන්තයෙන් පිටුවහල් කිරීම සඳහා ක්‍රියාකරන ලෙස එරට නියෝජ්‍ය අගමැති හා ආරක්ෂක අමාත්‍ය ප්‍රවිට් වොන්ග්ස්වාන් ආගමන කාර්යාංශයට උපදෙස් ලබා දුන්නේ ය. නීති විරෝධී ලෙස තායිලන්තයේ රැඳී සිටින විදේශිකයන් දහස් ගණනක් අත්අඩංගුවට ගැනීමට සහ පිටුවහල් කිරීමට ආගමන කාර්යාංශයට මාසයක් කල් ලබා දෙන බව ද නියෝජ්‍ය අගමැතිවරයා කියා සිටියේය.
තම රටට පැමිණෙන හා එහි වෙසෙන විදේශීකයන් ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ සංචාරකයන් ලෙස රටට ඇතුළු වන අන්තර්ජාතික අපරාධකරුවන් හඳුනා ගෙන ඔවුන් රටින් පිටුවහල් කිරීමේ උත්සාහය වේගවත් කිරීමට ආගමන කාර්යාංශයට නියෝජ්‍ය අගමැතිවරයා උපදෙස් දුන්නේය. බංග්ලාදේශය ඇතුළු රටවල් කිහිපයක නීතිවිරෝධී කටයුතුවලට හා ව්‍යාපාරවලට තායිලන්තයේ සිට සම්බන්ධ වී කටයුතු කරන විදේශිකයන් පිළිබඳ පැමිණිලි ලැබී ඇති බව නියෝජ්‍ය අගමැති හා ආරක්ෂක අමාත්‍ය ප්‍රවිට් වොන්ග්ස්වාන් සඳහන් කළේය.
වීසා නොමැතිව රටේ සිටින විදේශිකයන් සහ ඔවුන්ගේ වීසා කල් ඉකුත් වීමත් සමඟ එවන් පිරිස් මාසයක් ඇතුළත තායිලන්තයෙන් පිටුවහල් කිරීම සඳහා දැඩි නීතිමය පියවර ගන්නා ලෙස නියෝජ්‍ය අගමැතිවරයා ආගමන කාර්යාංශයට නියෝග කෙළේ ය. තායිලන්තය නීතිගත කර තිබෙන වෘත්තීන්හි නිරතව සිටින විදේශිකයන් හා ඔවුන් ගේ ව්‍යාපාර කටයුතු නිසි අධීක්ෂණයකට ලක් කීරීමේ අවශ්‍යතාව නියෝජ්‍ය අගමැතිවරයා මෙහිදී දැඩි ව අවධාරණය කළේ ය.