FAST NEWS

24×7 Around the Globe

අගවිනිසුරු ගැන තීන්දුවට ව්‍යවස්ථාදායක සභාව රැස් වෙයි..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව පත් කර අවසන් කිරිමේ කටයුතු අගමැති රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය හා විපක්ෂ නායක ආර්. සම්බන්ධන් යන මහත්වරුන් අතර පාර්ලිමේන්තු සංකිර්ණයේ ඊයේ (10) සවස පැවැති සාකච්ඡාවේදී සිදු කර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් දස දෙනාම මේ වන විට පත් කර ඇත.
අගමැතිගේ නියෝජිතයා ලෙස තලතා අතුකෝරල මහත්මියද විපක්ෂ නායකගේ නියෝජිතයා ලෙස චමල් රාජපක්ෂ මහතාද පත් කර ඇත.
සුළු පක්ෂ නියෝජිතයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී බිමල් රත්නායක මහතාද පත් කර තිබෙන බවද පැවසේ.
ජනාධිපති ගේ නියෝජිතයා මින් පෙරම පත් කර තිබූ අතර ඒ වෙනුවෙන් ඇමැති මහින්ද සමරසිංහ මහතා පත් කර තිබේ.
සිවිල් සංවිධාන නියෝජිතයන් ලෙස ආචාර්ය ජයන්ත ධනපාල, නීතිඥ ජාවෙඩ් යුසුෆ් හා නාගානන්නද සෙලවකුමාරන් යන මහත්වරු පත් කර ඇති බව පැවසේ.
අගමැති, කථානායක හා විපක්ෂ නායක නිල බලයෙන් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව පළමුවරට හෙට (12දා) දිනයේ රැස්වී විශ්‍රාම යෑමට නියමීත අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිත බවද එම ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි.