බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින චණ්ඩ සුළිකුනාටුව (TITLI) අද (11) අළුයම 02.00 පමණ වන විට, උතුරු අක්ෂාංශ 18.7 සහ නැගෙනහිර දේශාංශ 84.9 ආසන්නව ස්ථානගතව පැවතුණ බවත් , මෙම පද්ධතිය ත්‍රිකුණාමලය සිට කි.මී 1200 පමණ දුරින් පවතින අතර එය තවදුරටත් වර්ධනය වෙමින් ආන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ සීමාවෙන් අද (11) පෙරවරුවේදී ඉන්දියාවට ඇතුළුවනු ඇතැයි බලාපොරොත්තු වන බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (11) පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.
එසේම දිවයිනේ නිරිතදිග කොටසේ පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක අඩු වීමක් අද දිනයේ සිට බලාපොරොත්තු වන බවත් එම නිවේදනයෙහි දැක්වේ.
මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක් තද වැසි ඇති විය හැකි බවත් , දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනු ඇති බවද එම නිවේදයෙන් වැඩි දුරටත් පැවසේ.