FAST NEWS

24×7 Around the Globe

ජනපති ඝාතන කුමන්ත්‍රණයට අදාළව පොලිසියේ 10 කගෙන් ප්‍රකාශ ගනියි..

ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමට අදාළ කුමන්ත්‍රණයක් අනාවරණය කළ දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා සිදුකළ හෙළිදරව්වට අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 10 දෙනෙකුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
අදාළ චෝදනාව එල්ල වූ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ නිල කාමරයට මුද්‍රා තබා ලිපිලේඛන කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන තිබේ.
මෙම කුමන්ත්‍රණය හෙළිකළ නාමල් කුමාරගෙන් ද අවස්ථා දෙකකදී ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ සටහන් කරගෙන සිටින පොලිස් නිලධාරීන්..,
පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, රාජ්‍ය බුද්ධි සේවාවේ නියෝජ්‍ය පොලිස්පති මිලන්ත ජයවර්ධන, නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු , ඇල්පිටිය කොට්ඨාසය භාර පොලිස් අධිකාරී නිහාල් තල්දූව, තංගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස්, වරකාපොල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනකාන්ත හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගෙන් , තවත් පොලිස් පරීක්ෂකවරයෙකු සහ උප පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙකු මේ අතර වෙයි.