FAST NEWS

24×7 Around the Globe

කුමන්ත්‍රණ සිද්ධියට නියෝජ්‍ය පොලිස්‌පති රන්මල්ගෙන් ප්‍රකාශ ගැනේ..

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන්, කළුතර දිස්‌ත්‍රික්‌ භාර නියෝජ්‍ය පොලිස්‌පති රන්මල් කොඩිතුවක්‌කු මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (01) පැය තුනක්‌ ප්‍රකාශ ලබාගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම කුමන්ත්‍රණය පිළිබඳ තොරතුරු හෙළි කළ දූෂණ විරෝධී බළකායේ අධ්‍යක්‍ෂ නාමල් කුමාර මාධ්‍යයට ලබාදුන් හඬපටවල නියෝජ්‍ය පොලිස්‌පති රන්මල් කොඩිතුවක්‌කු මහතා පිළිබඳවද සඳහන්ව ඇති බවත් ,මෙම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ත්‍රස්‌ත විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්‌පති නාලක ද සිල්වා මහතා සහ නියෝජ්‍ය පොලිස්‌පති රන්මල් කොඩිතුවක්‌කු මහතා අතර විරසකයක්‌ පැවැති අතර මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඒ මහතාගෙන් කරුණු විමසා ඇත.
පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එම්. ආර්. ලතීෆ්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති නන්දන මුණසිංහ, රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය පොලිස්‌පති නිලන්ත ජයවර්ධන මහත්වරුන්ගෙන් ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මීන් පෙර මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත්තේය.