FAST NEWS

24×7 Around the Globe

ඥාණසාර හිමියන්ගේ අභියාචනය විභාග කිරිම ඔක්තොම්බර් 05 ට කල් තැබේ..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ට වසර 06 ක සිර දඬුවම් ලබා සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර ඇති අභියාචනා ඉල්ලීම සලකා බැලීම ලබන මස 05 වනදා දක්වා කල් තැබිමට ඊවා වනසුන්දර සහ, විජිත් මළල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල අද (28) නියම කළේය.
අදාළ අභියාචනා ඉල්ලීම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීම අවශ්‍ය බැවින් අද දින විනිසුරුමඩුල්ල නිසි පරිදි සකස් වී නොමැති හෙයින් ඒ පිළිබඳ සලකා බැලීම ඔක්තෝබර් මස 05 වනදා දක්වා කල් තබන බව එම විනිසුරු මඩුල්ල අවධාරණය කළහ.
2016 වසරේ ජනවාරි මස මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්වීම පිළිබඳ නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණ භූමියේ කලහකාරී ලෙස හැසිරී අධිකරණ ක්‍රියාදාමයට බාධා කොට අධිකරණයට අපහාස කලේ යයි චෝදනා කරමින් ඥාණසාර හිමියන්ට එරෙහිව එම අධිකරණයේ හිටපු මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් විය.
එම පැමිණිල්ල පදනම් කරගෙන නීතිපතිවරයා විසින් ඥාණසාර හිමියන්ට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කරනු ලැබුවා.
දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය විසින් ඥාණසාර හිමියන්ව එම චෝදනාවලට වරදකරු කර වසර 19 ක සිරදඬුවමක් නියම කළ අතර එම සිරදඬුවම වසර 06 කින් ගෙවි යා යුතු බව නියම කෙරුණී.
එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඥානසාර හිමියන් ඉල්ලීමක් කළද අභියාචනාධිකරණය විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබු අතර පසුව උන් වහන්සේට පනවා තිබෙන දඬුවම ඉවත් කොට සියලු චෝදනාවලින් නිදහස් කිරීමට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළහ.