FAST NEWS

24×7 Around the Globe

2019 අයවැය ඉදිරිපත් කිරිමේ දිනය වෙනස් වෙයි..

2019 මුදල් වර්ෂය සඳහා රජයේ අයවැය නොවැම්බර් මස 08 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද, එය නොවැම්බර් මස 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පෙරේදා (17) රැස්වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තීරණය වී තිබේ.
අයවැය යෝජනාවලිය නොවැම්බර් 08 වැනිදා ඉදිරිපත් කර දෙසැම්බර් 08 වැනිදා දක්වා පැවැත්විමට මීට පෙර තිරණය කර තිබූ අතර, එම දින ප‍්‍රමාණවත් නොවන බවට විපක්ෂය කළ ඉල්ලීම සලකා මෙම තීරණය ගෙන තිබේ.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නොවැම්බර් මස 05 වැනිදා සවස අයවැය කතාව ඉදිරිපත් කරන අතර, පාර්ලිමේන්තුව පස්වරු 2.00 ට රැස්වීමට නියමිතය.
ඒ අනුව දින 26 ක කාලයක් අයවැය විවාදය පැවැත්විමට නියමීතව ඇත.
නොවැම්බර් මස 07 වැනිදා සිට නොවැම්බර් මස 14 වැනිදා දක්වා අය වැය දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වෙන අතර 14 වැනිදා සවස අය වැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.
ඉන්පසු අමාත්‍යංශ වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වේ. සෙනසුරාදා දිනවලද විවාදය පැවැත්වීමට නියමිත අතර දෙසැම්බර් 08 වැනිදා අයවැය අවසන් ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.