ඉන්දියාවේ ආහාර ආරක්ෂණ පාලන අධිකාරිය විසින් මැගී ක්ෂණික නූඩ්ල්ස් වලට එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කිරීමට මුම්බායි මහ අධිකරණය විසින් අද (13) නියෝග කර ඇති බව එරට ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වෙබ් අඩවිය වාර්තා කරයි.
මීට ඉහතදී ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක කරන ලද පරීක්ෂණ වලින් සමහර මැගී නිෂ්පාදන වල ආරක්ෂාකාරී මට්ටමට වඩා ඊයම් අඩංගුවී තිබෙන බව හෙළි වූ අතර අලෙවියට අනුමත කර ඇති නූඩ්ල්ස් වර්ග නවයක් වෙළෙඳ පොලෙන් ඉවත් කර ගන්නා ලෙසටද ආහාර ආරක්ෂණ පාලන අධිකාරිය නියෝග කොට තිබුණි.
කෙසේවෙතත්, ජූනි මස 5 වනදා නෙස්ලේ සමාගම විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම සළකා බලමින් මැගී නූඩ්ල්ස් නිෂ්පාදනය සහ අලෙවියට එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කරන ලෙස මුම්බායි අධිකරණය නියෝග කර ඇත.
අදාළ නියෝගය නිකුත් කරමින් අධිකරණ විසින් ප්‍රකාශ කර ඇත්තේ තහනම නිකුත් කිරීමේදී ස්වාභාවික යුක්ති මූලධර්ම සහ ක්‍රමවේදයන් අනුගමනය කර නොමැති බවත් අදාළ පරීක්ෂණ පිළිගත් විද්‍යාගාර වල සිදු කර නොමැති බවයි.
කෙසේවෙතත්, මහජන අවශ්‍යතාවය සළකා බලමින් නූඩ්ල්ස් නැවත නිෂ්පාදනය ආරම්භ කිරීමට පෙර නෙස්ලේ විසින් නිෂ්පාදනය කරන නූඩ්ල්ස් වර්ග 9ක සාම්පල 5 බැගින් පිළිගත් විද්‍යාගාර 3කට ලබාදෙන ලෙසද අධිකරණය විසින් නියෝග කර තිබේ.







