FAST NEWS

24×7 Around the Globe

ලංකාවට ෆෙඩරල් පාලනයක් ඕනෑ නැහැ -අගමැති රනිල්

2005දී කොටි නායක ප්‍රභාකරන්ගේ ෆෙඩරල් යෝජනාව ඉවත දැමූ තමා අද මහ මැතිවරණය දිනන බව හොඳටම පෙනි පෙනී ෆෙඩරල් පාලනයක් ඇති කරන බවට දෙමළ ජාතික සන්ධානය සමග කිසිසේත්ම ගිවිසුමක් අත්සන් කරන්නේ නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය.

2005 දී ප්‍රභාකරන්ගේ ෆෙඩරල් යෝජනාවට එකඟවූයේ නම් ඔහුගේ පිහිටෙන් තමාට එදා ජනාධිපති වීමට බෙහෙවින් ඉඩ තිබූ නමුත් ඒ යෝජනාව ඉවත දැමූ බව සිහිපත් කළ වික්‍රමසිංහ මහතා පැවසූයේ එදත් අදත් කවදත් තමා ෆෙඩරල්වාදය නොපිළිගන්නා බවයි.

‘ලංකාවට ෆෙඩරල් පාලනයක් ඕනෑ නැහැ. මගේ වැඩපිළිවෙළ ගම දක්වා බලය බෙදා හැරීමයි. පොකුරු ගම්මාන ග්‍රාම රාජ්‍ය ඇතිකර ආගමික නායකයින් ඇතුළු පොදු නියෝජිතයන් මගින් බලය ගමට බෙදා හැරීමයි.‘ වික්‍රමසිංහ මහතා එම ප්‍රකාශය කළේ බලයට පැමිණියහොත් ෆෙඩරල් ක්‍රමයක් සඳහා දෙමළ ජාතික සන්ධානය සමග ගිවිසුමකට එළඹෙන්නේදැයි මාධ්‍යවේදියකු ඇසූ පැනයට පිළිතුරු දෙමිනි.