හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට 2006 වසරේ කොල්ලුපිටිය, පිත්තල හන්දිය ප්රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක් එල්ල කිරිමේ සිද්ධියට ආධාර අනුබල දිමේ චෝදනා ලබා සිටි සැකකාර හින්දු පූජක අයියර් ශ්රී ස්කන්ධරාජා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (26) නියම කළේය.
හින්දු පූජක අයියර් ශ්රී ස්කන්ධරාජා පොලිසියට දී ඇති පාපොච්චාරණය ස්වේච්ඡාවෙන් ලබාදී නොමැති බව අනාවරණය වී ඇතැයි විනිසුරු සම්පත් අබේකෝන් මහතා අවධාරණය කර සිටියේය.
එසේම පාපොච්චාරණයට අමතරව වෙනත් සාක්ෂි කිසිවක් විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කිරීමට නොහැකි බව රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේය.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නිතිඥ සාලිය පිරිස් ද පෙන්වා දුන්නේ හින්දු පූජක අයියර් ශ්රී ස්කන්ධරාජාගේ පාපොච්චාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් නොවන බවට වු අධිකරණය තීන්දුව සහ ඔහුට එරෙහිව වෙනත් සාක්ෂි ද නොමැති බැවින් විත්තිකරු නිදොස් කොට නිදහස් කරන ලෙසය.
එම ඉල්ලීම සලකා බැලු කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට නියම කළේය.
අදාළ චෝදනාව සම්බන්ධයෙන් විත්තිකාර පූජකවරයා වසර 13කට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි බවද නඩු විභාගයේදී අනාවරණය විය.
DE සිල්වා








