FAST NEWS

24×7 Around the Globe

සන්ධාන අපෙක්ෂක ධනසිරි අමරතුංගට සී.අයි.ඩීයෙන් කැඳවීමක්.

දෙහිවල ගල්කිස්ස නගරාධිපති ධනසිරි අමරතුංග මහතාට හෙට (12) දිනයේ අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි කැඳවීමක් ලැබී තිබෙනවා.

‍දෙදෙනෙකුට මරු කැඳවමින් කොටහේන බ්ලූමැන්ඩල් ප‍්‍රදේශයේ ඉකුත් දා සිදුවු වෙඩි තැබීමට අදාළව ඔහුගෙන් ප‍්‍රශ්න කෙරෙනු ඇති බවයි පොලිස් ආරංචි පවසන්නේ.

මෙම වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි බව කියන මෝටර් රථයක් මේ වන විට පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඇතැම් පුවත්පත් ඊයේ (10) වාර්තාකර තිබුණේ අදාළ මෝටර් රථය සොයාගෙන ඇත්තේ ධනසිරි අමරතුංග මහතාගේ කාර්යාලයක් අසල තිබීයදී බවයි.

බ්ලූමැන්ඩල් වෙඩි තැබීම සිදුවුණේ අමාත්‍ය රවී කරුණානායක මහතාගේ මැතිවරණ ප‍්‍රචාරක කටයුත්තක් අතරතුරයි. මීට අදාළව සැකකරුවන් පස් දෙනෙකු ද මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.