FAST NEWS

24×7 Around the Globe

මෙරට නව ඇමෙරිකා තානාපතිනිය ලෙස ඇලයිනා ටෙප්ලිට්ස් නම් කරයි..

ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනිය ලෙස ඇලයිනා ටෙප්ලිට්ස් නම් කර ඇත.
ඇය මාලදිවයිනේ තානාපතිනිය ලෙස ද කටයුතු කිරීමට නියමිත අතර ශ්‍රී ලංකාව සහ මාලදිවයින වෙනුවෙන් තානාපතිනිය ලෙස පත් කිරීමෙන් අනතුරුව ඇය පසුගිය (28) ඇමෙරිකා එක්සත් ජනපදයේ විදේශ සබඳතා පිළිබඳ සෙනට් කමිටුවේ ඉදිරියේ ප්‍රකාශයක් කර ඇත.
අතීතයේ තිබූ දූෂණය, ගැටුම් හා මර්දනය ප්‍රතික්ෂේප කර ප්‍රතිසංස්කරණ, සංහිඳියාව හා වගවීමේ වැඩසටහනකට ශ්‍රී ලාංකිකයන් 2015 පැවැති ජනාධිපතිවරණයේදී සහාය පළ කිරීමෙන් පසු ශ්‍රී ලංකාව බොහෝ දුරක් ඉදිරියට ගොස් ඇතැයි ද ඇය විසින් සඳහන් කරනු ලැබ තිබේ.
එසේ වුවත් යුක්තිය ඉටු කිරීම හා ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය ඉතා මන්දගාමී බවත් අන්තර් ආගමික හා අන්තර් වාර්ගික හිඩැස පිරවීමේ කටයුතු තවමත් සම්පූර්ණ වී නැතැයි ද ඇය තවදුරටත් සඳහන් කර තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපද විදේශ සේවය යටතේ තනතුරු රැසක් හොබවා තිබෙන ඇලයිනා ටෙප්ලිට්ස් ඇෆ්ගනිස්තානය, පාකිස්තානය ඇතුළු දකුණු ආසියානු රටවල් කිහිපයකම රාජකාරීවල නිරත ව තිබේ. අවසන් වරට ඇය නේපාලයේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිය ලෙස කටයුතු කළාය.
මීට ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිවරයා වශයෙන් කටයුතු කළේ අතුල් කෙෂාප් මහතාය. ඔහු 2015 වසරේ සිට මේ වසරේ ජූනි මාසය දක්වා මෙරට සහ මාලදිවයිනේ තානාපතිවරයා වශයෙන් කටයුතු කළේය.