මහමැතිවරණ ප්‍රචාරණ කටයුතු, අ.පො.ස. උසස්පෙළ විභාගයට බාධා නොවන අයුරින් කළයුතු බව මැතිවරණ මහලේකම් කාර්යාලය සියලු පක්ෂවලට දැනුම්දී තිබේ.
අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් මහතා පැවසුවේ, පක්ෂ නියෝජිතයින් සමග ඊයේ පැවති හමුවේදී මැතිවරණ කොමසාරිස්වරයා ඔවුන්ට ඒ බව දැනුවත් කළ බව ය.
විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේ, විභාග අපේක්ෂකයින්ට යම් බාධාවක් ඇත්නම් ශාලාධිපතිවරු දැනුවත් කරන ලෙස ය.
මේ අතර අපොස උසස්පෙළ විභාගයට බාධා නොවන අයුරින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකරන ලෙස මැතිවරණ නිරීක්ෂකයින් ද අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටී.
මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඊයේ පැවති තැපැල් ඡන්ද සලකුණු කිරීම ඉතා සාමකාමීව පැවති බව මැතිවරණ නිරීක්ෂකයින් පැවසී ය.
කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් තමන්ට වාර්තා වූයේ එක් සිදුවීමක් බව ය.
ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක නීතීඥ රසාංග හරිස්චන්ද්‍ර මහතා පැවසුවේ, නීති විරෝධී ප්‍රචාරණ සිද්ධි කිහිපයක් හැර සමස්ථයක් ලෙස තැපැල් ඡන්ද සලකුණු කිරීම සාමකාමීව සිදුවූ බව ය.







