දින දෙකක් තිස්සේ ජලය නොලැබීම හේතුවෙන් ගම්පහ යක්කල සියනෑ උයන ජාතික නිවාස සංකීර්ණයේ නිවාස 350 කට අධික ප්‍රමාණයක වෙසෙන දහස් ගණනක ජනතාව මහත් අපහසුතාවකට පත්ව ඇත.
නිවාස සංකීර්ණය සඳහා ජලය සැපයීම සති ගණනක සිට මන්දගාමී ස්වරූපයක පැවති බවත්, ඊයේ (01) වන විට ජල සැපයුම සම්පූර්ණයෙන් ඇණ හිටි බවත් නිවාස සංකීර්ණයේ වැසියෝ පවසති.
මෙම පුවත පළ වන මොහොත වන විට ජල සැපයුම නැවතී පැය 24 කට ආසන්න බවත්, ඒ සම්බන්ධයෙන් විමසූ විට ජල සම්පාදන මණ්ඩලයේ යක්කල කාර්යාලයේ නිලධාරීන් විවිධ පිළිතුරු සපයමින් ගැටලුව මඟහරිමින් සිටින බවටත් නිවාස සංකීර්ණයේ වැසියෝ චෝදනා කරති.
අද උදෑසන වන විට ජල සම්පාදන මණ්ඩලයේ යක්කල කාර්යාලයේ දුරකථනයට පිළිතුරු දීම ද එම නිලධාරීන් විසින් නවතා දමනු ලැබ ඇතැයි නිවාසවාසීහු පවසති.
අදාළ ගැටලුව සම්බන්ධව ජල සම්පාදන මණ්ඩලයේ යක්කල කාර්යාලයේ 0332248016 අංකයට ඇමතීමේ දී එම ඇමතුමට පිළිතුරු දුන් කාර්යාලයේ ආරක්ෂක අංශයේ යැයි කියා ගත් එහෙත් නිලධාරියකු ලෙස හැඟුණු තැනැත්තකු ප්‍රකාශ කළේ තමන් දිගින් දිගට ම ජලය පොම්ප කරන බවත්, එම ප්‍රමාණය ම ජනතාව පරිභෝජනය කරන හෙයින් නිවාස සංකීර්ණයේ ජල ටැංකියේ ජල ධාරිතාව සැපිරීම එනිසා නිසි පරිදි නොසිදු වන බවත් ය.
මෙයට පිළිතුරු ලෙස සියනෑ උයන නිවාසවාසීන් පවසන්නේ මෙයට පෙර වසර ගණනාවක සිට තමන් මෙවන් තත්ත්වයකට මුහුණ නොපෑ බවත් පසුගිය රජය සමයේ ගම්පහ දිස්ත්‍රික්කයේ බලය හිමි කර ගෙන සිටි බැසිල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ සන්ධානයේ දේශපාලන බලවතුන් ගේ නියෝගය මත නිවාස සංකීර්ණයට ජලය සැපයෙන ජල ටැංකියෙන් අසල ගම් ගණනාවකට ජල සම්බන්ධතා ලබා දීම නිසා නිවාස සංකීර්ණයේ වෙසෙන ජනතාව ගේ පරිභෝජනය පිණිස නිසි පරිදි ජල සැපයුමක් සිදු නොවන බවත් ය.
අදාළ ගැටලුව සම්බන්ධව ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා ගෙන් විමසූවිට සඳහන් කර සිටියේ සතියක පමණ කාලයක සිට මෙම ජල ගැටලුව පවතින බවත් අදාළ බලධාරීන් මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවත් ඔවුන් කඩිනමින් අදාල ගැටලුවට කඩිනමින් විසදුමක් ලබාදීමට පොරොන්දු වූ බවය.
එසේම තමා ගම්පහ ජල සම්පාදන ඉන්ජීනේරුවරයාව දුරකථනය මගින් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරමින් සිටින බවද නගරාධිපතිවරයා අප වෙත පැවසීය .







