FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී සංඛ්‍යාව පිළිබඳව පොහොට්ටුව අධිකරණයට..

පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල මත අමතර මන්ත්‍රී සංඛ්‍යාව ගණනය කිරීමේදී බරපතළ වරදක්‌ තිබෙන බවත්, සිදුවී ඇති වරද නිවැරැදි නොකරන්නේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අධිකරණය ඉදිරියට යැමට බලාපොරොත්තු වන බවත් ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්‌ අලහප්පෙරුම මහතා බොරැල්ල ආචාර්ය එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී ඊයේ (27 දා) පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.
ලැයිස්‌තු මන්ත්‍රීවරු ගණනය මුළුමණින්ම වැරදි බවත් මේ පිළිබඳව මැතිවරණ කොමිසම දැනුවත් කිරීමේදී කොමිසමේ එක්‌ සාමාජිකයකු පිළිගෙන ඇති නමුත් සමස්‌ත කොමිසම තවමත් පිළිගෙන නැති බව හෙතෙම පෙන්වා දෙයි.
මෙම වරද නිවරැදි කිරීමෙන් දේශපාලන පක්‍ෂ තුනකට දැනට ලැයිස්‌තුවෙන් වැඩිපුර පත්කර තිබෙන 200 කට ආසන්න පිරිසකට මන්ත්‍රී ධුර අහිමි වන බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ එහෙත් සභා පිහිටුවීම අර්බුදයට පත්ව තිබෙන සභා 76 න් සභා 37 ක්‌ ගැටලුවකින් තොරව පිහිටුවීමට හැකිවනු ඇති බවත් පැවසීය.
මෙය මැතිවරණ කොමිසම හිතාමතා කළ වරදක්‌ නොවන බව පැවසූ ඩලස්‌ අලහප්පෙරුම මහතා වරද නිවැරැදි නොකළොත් එය හිතාමතාම කළ දෙයක්‌ වනු ඇති බවද කියා සිටියේය.