ගෑස් මිල වැඩිකිරීමේ කිසිඳු තීන්දුවක් ගෙන නැතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා සිය අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී අද (20)පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘‘ගෑස් මිල වැඩිකරන ලෙස සමාගම් විසින් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව ගෑස් මිලේ වෙනසක් සිදුවේවිද?’’ යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙ බව සදහන් කලේය.
රජයට අයත් ‘ලිට්රෝ’ ගෑස් සමාගම මෙන්ම ‘ලාෆ්’ පෞද්ගලික ගෑස් සමාගම විසින්ද ගෑස් මිල ඉහළ නංවන ලෙස ඉල්ලීම් කර ඇති නමුත් අද හෙටම මිල වැඩිකිරීමට නොහැකි බව ද අමාත්‍යවරයා මෙහිදි සඳහන් කළේය.
ගෑස් යනු අත්‍යාවශ්‍ය භාණ්ඩයක් වන බැවින් එහි මිල වැඩිකිරීමේදී අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප‍්‍රධානත්වයෙන් යුත් අමාත්‍යාංශ කමිටුවෙන්, මලික් සමරවික‍්‍රම මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තු ජීවන වියදම් කමිටුවෙන් මෙන්ම කැබිනට් මණ්ඩල අනුමැතිය ද ලබාගැනීමට සිදුවන බව අමාත්‍ය බදියුදීන් මහතා සඳහන් කළේය.
ලෝක වෙළඳ මිල ගණන් අනුව ගෑස් මිල ගණන් අඩුවැඩි කිරීමේ මිල සූත‍්‍රයක් ගෑස් වෙනුවෙන් හඳුන්වාදීමට කැබිනට් මණ්ඩලය සාකච්ඡා කරගෙන යන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.






