මාර්තු 08 වැනි දා හෝ ඊට පෙර සීඅයිඩි ය හමුවේ පෙනී සිට කටඋත්තරයතක් ලබාදෙන ලෙස හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කළේය.
මෙම නියෝගය අධිවේගී තැපෑල සහ ඩීඑච්එල් කුරියර් සේවය හරහා මහේන්ද්‍රන් මහතාගේ සිංගප්පූරුවේ නිවසට යවන ලෙසට ද අධිකරණය නියෝග කළේය.
පෙබරවාරි 15 වැනිදාට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට නිකුත් කළ නියෝගය සම්බන්ධයෙන් තම පියාණන් දැනුම්වත් වී සිටි බව අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ දියණිය අංජලී මහේන්ද්‍රන් සීඅයිඩියට ප්‍රකාශ කර ඇතැයි සීඅයිඩිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝඳාගොඩ මහතා අද (16) අධිකරණයට දන්වා සිටියේය.
මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට පෙබරවාරි 15 වැනිදාට පෙර සීඅයිඩි ය හමුවේ පෙනී සිටින ලෙසට ලබාදුන් නියෝගය අන්තර්ජාතික පොලිසියේ සිංගප්පුරු ශාඛාව වෙත ලබාදීමට නොහැකි වී ඇතැයි සීඅයිඩිය මෙහිදි අධිකරණයට දැනුම් දුන්නේය








