ඉන්දුනීසියාවේ වෙසෙන 8,400ක් පමණ වූ විදෙස් සරණාගතයෝ තම යුරෝපා සිහින සැබෑ කර ගැනීමට නොහැකිව දිගුකාලීන සරණාගතයන් ලෙස තවමත් ඉන්දුනීසියාවේ අස්ථීර ජීවිත ගත කරති. ඔවුන්ට එරට පුරවැසි බව නොලැබුණු බැවින් රැකියාවක් කිරීමට හෝ රජයෙන් සැපයෙන සේවාවන් ලබා ගත නොහැකිව ළතැවේ.
ලොව පුරා මෙවැනි සරණාගතයින් මිලියන 24ක් සිටින බවත්, එය දෙවැනි ලෝක යුද්ධ සමයට පසු වාර්තාවූ වැඩිම සංඛ්‍යාව බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වීමත් සමඟ සරණාගතයින් යුරෝපයේ පදිංචියට යුහුසුලු විය. අරාබි රටවල් අටක ජනතාවට ඇමෙරිකාවට පැමිණීම තහනම් කළ ට්‍රම්ප් උග්‍ර මුස්ලිම් විරෝධයක් පෙන්වයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සරණාගතයින්ගේ නඩු නිමා කරන තෙක් තාවකාලිකව ඔවුන් රඳවා ගැනීමට ඉන්දුනීසියාව කැමැත්ත පළ කර ඇතත් ඔවුන්ට ස්ථීර පුරවැසි බව ලබා දී මෙරට නතර කර ගැනීමට එරට බලධාරීහු ප්‍රතික්ෂේප කරති.
ඉන්දුනීසියාවේ වෙසෙන 8,400ක් පමණ වූ විදෙස් සරණාගතයින්ට පහසුකම් සැලසීම උදෙසා එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සරණාගත සංවිධානය අනුග්‍රහය දක්වයි. එම සරණාගත කඳවුරුවල තවදුරටත් දුක්ගැහැට විඳිමින් බලාපොරොත්තු තබා සිටිනවාට වඩා පෙරළා තම මව්රටට යෑමට කැමැති අයට ඒ සඳහා උදවු කිරීමත් මෙම සංවිධානය ඉටු කරයි.
“ඕස්ට්‍රේලියාවේ සහ ඇමෙරිකාවේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රතිපත්ති වෙනස්වීමත්, කැනඩාව හා නවසීලන්තය නීති දැඩි කිරීමත්, යුරෝපා රටවල් අකැමැත්ත ප්‍රකාශ කිරීමත් නිසා අපට මොවුන් බටහිර රටවල පදිංචි කරවීම ඉතා අපහසු වෙලා තියෙනවා. ඉන්දුනීසියාවේ වුවත් නැවත පදිංචි කිරීමට අපට හැකිවෙලා තියෙන්නේ, වසරකට 400 දෙනෙක් පමණයි.” ඉන්දුනීසියාවේ, ජාත්‍යන්තර සරණාගත සංවිධානයේ ප්‍රධානියා පැවසීය. “ මේ සංඛ්‍යාව දැනට ඉන්දුනීසියාවේ ළතැවෙන සරණාගතයින්ගේ සංඛ්‍යාවෙන් සියයට 3කටත් වඩා අඩු ගණනක්”ඔහු වැඩිදුරටත් පවසයි.
සංක්‍රමණික සරණාගතයින් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය එම කඳවුරු තුළ වෘත්තීය පුහුණු පාඨමාලා සහ පරිගණක මාර්ගයෙන් දුරස්ථ පුහුණු වැඩසටහන් පවත්වයි. පෙදරේරු, වඩු, විදුලි කාර්මික වැනි පාඨමාලා මෙන්ම, අරක්කැමි, කරණවෑමි පාඨමාලාද ඒ අතර වේ. දරුවන් සමඟ කඳවුරුවල වෙසෙන මව්වරුන්ගේ වෘත්තීය පුහුණු අවශ්‍යතා මෙන්ම දරුවන්ට නොවිධිමත් අධ්‍යාපන පහසුකම් සැලැස්වීමද අභියෝගයක්ව බව එක්සත් ජාතීන්ගේ සරණාගත සංවිධානයේ ඉන්දුනීසියාවේ ප්‍රධානි මාර්ක් ගෙචෙල් කියයි.