FAST NEWS

24×7 Around the Globe

තාජුදීන් නඩුව සම්බන්ධයෙන් හිටපු ජනපති පවුලේ සමීපතමයින්ගෙන් ප්‍රකාශ ගැනේ..

රගර් වසීම් තාජුදීන් ඝාතන සිද්ධිය පිළිබඳව හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයින් සමඟ සමීපව ඇසුරු කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පරීක්ෂණ සිදුකරන බවත්, එවැනි පුද්ගලයින් කීප දෙනෙකුගෙන් ප්‍රකාශද සටහන් කරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

එසේම මියගිය වසීම් තාජුදීන්ගේ ජංගම දුරකථනය විශේෂ පරීක්ෂණයකට භාජනය කර ඇති බවත් ඊට අමතරව මරණකරු භාවිතා කළ ලැප්ටොප් සහ තවත් පරිගණක යන්ත්‍රයක් පරීක්ෂණ සඳහා මොරටුව විශ්වවිද්‍යාලය වෙත යොමුකර ඇති බවද අදාළ පැමිණිල්ල අද කැඳවු අවස්ථාවේදී රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණ වෙත ප්‍රකාශ කර සිටියේය.

එසේම මෙම පරීක්ෂණයට අදාළ ව 2012 වසරේ මැයි මස පළවනදා සිට 30 වන දා දක්වා කාලසීමාව තුළ නාවික හමුදා නිලධාරීන් පිරිසක් භාවිතා කල වාහන දෙකක් පිළිබඳවද පරීක්ෂණ සිදුකළ බවද හෙතෙම කියා සිටියේය.

ඊට අමතරව ජනාධිපති ලේකම් කාර්යාලය අරලියගහ මන්දිරය සහ ජනාධිපති මන්දිරයේ දුරකථන සැකසුම් පද්ධති පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ,මෙය ඉතා සංකීර්ණ පරීක්ෂණයක් බැවින් පරීක්ෂණ අවසන් කිරීමට සාධාරණ කාලයක් අවශ්‍ය බව අධිකරණය වෙත දන්වා සිටියේය.

මෙම කරුණූ සැලකිල්ලට ගනිමීන් පැමිණිල්ල යළි මැයි මස 03 වනදා කැඳවීමට නියම කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මහත්මිය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන්නැයි රහස් පොලිසියට නියම කළාය.

මෙම සිද්ධියේ‍ සැකකරුවන් ලෙස නම්කර තිබෙන නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා, හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය ආනන්ද සමරසේකර යන සැකකරුවන් අද (26) දින අධිකරණයේ පෙනී සිටි අතර ඔවුන්ට නැවත මීළඟ දින පෙනී සිටින්නැයි මහේස්ත්‍රාත්වරිය නියම කළාය.

DE සිල්වා