FAST NEWS

24×7 Around the Globe

ජ’පුර වර්ජනයෙන් රෝගිහු 200ක් දෛනිකව හැරෙති..

ජයවර්ධනපුර රෝහ‍ලේ හෙද හෙදියන් ඇඟිලි සලකුණු යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට විරෝධය පළකරමින් ඉකුත් 03 වැනිදා සිට ආරම්භ කර ඇත වැඩවර්ජනය හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල වෙත පැමිණෙන රෝගීන් 200ක් දෛනිකව හරවා යැවීමට සිදුව ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්න මහතා සඳහන් කරයි.

ජයවර්ධනපුර රෝහ‍ලේ හෙද හෙදියන් සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට විරෝධය පළකරමින් හෙද හෙදියන් ගෙන යන වැඩවර්ජනය නීතිවිරෝධී යැයිද අධ්‍යක්ෂවරයා පවසයි.

මෙම වර්ජනය වහාම නතර කරන ලෙස මේ වන විට උසාවි නියෝගයක් පවා නිකුත් කර තිබියදී ඔවුන් වැඩවර්ජනයේ නිරතව සිටින බව අධ්‍යක්ෂවරයා චෝදනා කරයි.

වර්ජනයට සම්බන්ධ වෘත්තීය සමිති නියෝජිතයන් අටදෙනෙකුට වෘත්තීය ක්‍රියාමාර්ගවලින් ඉවත් වන ලෙසට උසාවියෙන් නියෝගයක් නිකුත් කර ඇති නමුත් එම නියෝගය තමන් වෙත නොලැබුණු බව පවසමින් ඔවුන් තවදුරටත් වැඩවර්ජනයේ නිරතව සිටින බව හෙතෙම පැවැසීය.

මෙහිදි හෙදියන් ඉල්ලා ඇත්තේ සේවයට වාර්තා කරන වේලාව විනාඩි 15ක් ප්‍රමාද වී හා විනාඩි 15 කලින් පිටවීමට අවසර ලබාදෙන ලෙසය. එහෙත් පාලන අධිකාරිය එයට අවසර ලබා නොදීමට තීරණය කළ බවද වෛද්‍ය සේනාරත්න මහතා සඳහන් කළේය.

මේ වන විට රෝහ‍ලේ හදිසි ප්‍රතිකාර කටයුතුවලින් පවා හෙදියන් බැහැර වී ඇති බැවින් නේවාසිකව රෝගීන් 750ක් දෙනා ප්‍රතිකාර ලැබුවද මේ වන විට එම සංඛ්‍යාව 200 දක්වා අඩු වී ඇති බවද පැවැසේ.

DE සිල්වා