FAST NEWS

24×7 Around the Globe

බ්‍රිතාන්‍ය ජාතිකයාගේ අභිරහස් මරණයට සැක 02 ක් අල්ලයි..

මාළිගාවත්තේ දී බ්‍රිතාන්‍ය ජාතිකයකු අභිරහස්‌ අන්දමින් මියයැමේ සිද්ධිය සම්බන්ධව සැකපිට ත්‍රිරෝද රථ රියෑදුරෙකු හා වාප්පු ලිපිකරුවකු මාළිගාවත්ත පොලිසිය මගින් ඊයේ (03) සවස අත්අඩංගුවට ගෙන ඇත.

චාල්ස්‌ ස්‌ටීවන් බෙයාර් නමැති මෙම බ්‍රිතාන්‍ය ජාතිකයාගේ මළ සිරුර ත්‍රිරෝද රථයක පටවාගෙන මාලිගාවත්ත අරලිය උයන ක්‍රීඩාංගණය අසලට ගෙනවිත් දමා ඇත්තේ මෙම සැකකරුවන් විසින් බව හෙළිවී ඇත.

පොලිසිය පවසන අන්දමට මෙම බ්‍රිතාන්‍ය ජාතිකයා මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහි වූවෙක් වන බවත්, මොහු ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ හෙරොයින් භාවිතය නතර කිරීම වෙනුවෙන් පුනරුත්ථාපන කඳවුරකට ඇතුළු වීමට බවත් පොලීසිය කියයි.

මෙම සැකකරුවන් පොලිසියට පවසා ඇත්තේ මෙම බ්‍රිතාන්‍ය ජාතිකයා තමන් සමඟ ගොස්‌ හෙරොයින් පැකට්‌ දෙකක්‌ මිලදී ගත් බවත්, මොහු එම හෙරොයින් සිලින්ජරයක්‌ ආධාරයෙන් ශරීරගතකර ගත් පසු හදිසියේම මියගිය බව සැකකරුවන් ප්‍රකාශ කර ඇත.

බ්‍රිතාන්‍ය ජාතිකයා හදිසියේ මියයැම නිසා භීතියට පත්ව ඔහුගේ සිරුර මාලිගාවත්ත ක්‍රීඩාංගණය අසලට ගෙනවිත් දැමූ බව ප්‍රකාශ කර ඇත.

පොලිසිය ප්‍රකාශ කරන්නේ සැකකරුවන්ගේ ප්‍රකාශ පිළිගත නොහැකි බවත් මරණය පිටුපස යම් අභිරහසක්‌ ඇති බවත්ය.

DE සිල්වා