FAST NEWS

24×7 Around the Globe

රනිල්ගේ යහපාලනය මහින්ද තහවුරු කරලා – ගාමිණී ජයවික්‍රම

රට තුළ ස්ථාපිත වීම අද තහවුරු කරන්නේ වෙන කිසිවෙකු නොව මහින්ද රාජපක්ෂ මන්ත්‍රීධුර අපේක්ෂකයාම බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

ආහාර සුරක්‍ෂිතතා අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා නිකුත් කළ නිවේදනයක එබව සඳහන් වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනුගමනය කරමින් මහින්ද රාජපක්ෂ මහතා සිය නිල රථ භාවිතා කිරීම වෙනුවෙන් මුදල් ගෙවීම තුළ එය මනාව පැහැදිලි වන බව ඔහු කියා සිටියි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

මෙයට පෙර අප දුටු ආදර්ශයන් :

රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඔහු කුමක් කීව ද, රනිල් වික්‍රමසිංහ මහතා නිවැරදි දේ කරන, කියන, ආදර්ශමත් නායකයකු බව, ඔහු අනුගමනය කිරීම තුළින්ම කුරුණෑගල ඡන්ද අපේක්ෂක මහින්ද රාජපක්ෂ පෙන්වා දීම ම යහපාලනයට වික්‍රමසිංහ මහතාගේ කැපවීම තුළින් ලැබූ ජයග්‍රහණයක් බව කිව යුතු ය.

මෙයට පෙර අප දුටු ආදර්ශයන් මොනවාද? මහින්ද රාජපක්ෂ මහතා රජයේ වියදමින් අරලියගහ මන්දිරයේ පැවැත්වූ දන්සැල් ය. රට පුරා ඉදිකළ අති සුඛෝපභෝගී ජනපති මාළිගා තුළ පැවැත්වූ දන්සැල් සමූහයයි.

රාජ්‍ය ආයතන බංකොලොත් කරමින් රජයේ මුදල් රුපියල් කෝටි ගණන් වැය කරමින් බෙදා දුන් සිල් රෙදි, ඔරලෝසු, සෙවිලි තහඩු, සාරි, පිටිකිරි, ආහාර ද්‍රව්‍ය ආදී තිළිණ සහ ත්‍යාග පිරිනැමීමයි.

රජයේ මුදල් භාවිතා කිරීමට නොහැකි වීම :

මෙම සත් ගුණවත් කුරුණෑගල ඡන්ද අපේක්ෂක මහින්ද රාජපක්ෂ පින්වතා දැන් දන්සැල් නොපවත්වන්නේ ඇයි? ඔහුගේ දන්සැල්වලින් බඩ කට පුරා කෑමටත්, ත්‍යාග ලබා ගැනීමටත් අපේක්ෂා කළ කුරුණෑගල සන්ධාන හිතවතුන්ගේ බලාපොරොත්තු සුන්කරලීමට ප්‍රධාන හේතුව රජුගේ භාණ්ඩාගාරය ලෙස සැලකුණ රජයේ භාණ්ඩාගාරයේ මුදල් දැන් භාවිතා කිරීමට ඔහුට නොහැකි වීම නිසා නොවේද?

කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා දැන් පවත්වන එකම දන්සැල ඔහුගේ පාක්ෂිකයින්ට අතින් සහ පයින් කරන සංග්‍රහ කිරීම පමණි.

ගමේ චණ්ඩි පාට් සත්කෝරලයට බැහැ :

නමුත් ඔහු දමන ගමේ චණ්ඩි පාට් සත්කෝරලයට වලංගු නොවන බව අපි ඔහුට කරුණාවෙන් මතක් කර දෙන්නෙමු.

මැතිවරණයට පමණක් නොව තමාට සහ පවුලේ ඥාතීන්ට සාමාන්‍ය දුරක් පවා ගමන් කිරීමට හෙලිකොප්ටර් යානා භාවිතා කොට මුදල් නොගෙවූ බව දැන් හෙළි වී තිබේ.

ඔහුගේ පුතුන් නුවරඑළියේ අශ්වයින් පැදීමට ආවේ ගියේ ද රජයේ හෙලිකොප්ටර් යානාවලිනි.

ශිරන්ති රාජපක්ෂ අරලිගයගහ මන්දිරයේ සිට මහරගමට ගමන් කර ඇත්තේ ද හෙලිකොප්ටර් යානා මඟිනි.

නමුත් මේ කිසිවකට මේ දක්වා මුදල් ගෙවා නැති බව ජනමාධ්‍ය වාර්තා කර තිබුණි.

ජනපතිට හා අගමැතිට පමණක් භාවිත කළ හැකි එවැනි පහසුකම් හිරිකිතයක් නොමැතිවම භාවිත කළේ රජයේ දේපළ තම පෞද්ගලික දේපළ ලෙස සලකමිනි.

රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳව වාර්තා :

මැතිවරණ සමයේ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳව විශිෂ්ඨතම වාර්තා තබා ඇත්තේ ද මහින්ද රාජපක්‍ෂ යුගයේදීය.

ලංකා ගමනාගමන මණ්ඩලයට මේ දක්වා නොගෙවා ඇති මුදල රුපියල් මිලියන 142 කි. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් විශ්‍රාම ගන්නා අහිංසක සේවකයින්ට හිමි අර්ථසාධක හා සේවා නියුක්තික භාරකාර අරමුදල්, ප්‍රසාද දීමනා ආදී හිමිකම් ගෙවීමට නොහැකි වී ඇත්තේ මහින්ද රාජපක්‍ෂගේ මෙවැනි නිර්ලජ්ජිත ක්‍රියාවන් නිසාය.

සිය ජනාධිපතිවරණයේදී රූපවාහිනී සංස්ථාවට දැන්වීම් දමා, නොගෙවා ඇති මුදල් ද මිලියන ගණනකි.

සිය පුතාගේ රූපවාහිනියට ක්‍රිකට් විකාශන අයිතිය ලබාදීම මගින් රාජ්‍ය රූපවාහිනියට සිදු කළ අලාභය මිලියන ගණනාවකි.

රජයේ නිලවාහන, රජයේ කාර්යාල, රාජ්‍ය නිලධාරීන් සිය මැතිවරණ ව්‍යාපාරයට යොදා ගනිමින් රාජපක්‍ෂ මහතා සිදුකළ හානිය අති විශාලය.

අරලියගහ මන්දිරය, එහි කාර්යාල සංකීර්ණය සහ එහි සෑම කාර්යාලීය උපකරණයක්ම යොදා ගනිමින් සිය මැතිවරණ ව්‍යාපාරයට රාජ්‍ය සම්පත් භාවිතා කළ ඔහු වර්තමානයේ රාජ්‍ය සම්පත් භාවිතය ගැන කරන ප්‍රකාශ මේ රටේ ජනතාවගේ බුද්ධියට කරනු ලබන විශාලතම අවමානයක් වේ.

සහචරයින් සම්බන්ධ දූෂණ රැසක්:

කුරුණෑගල දිස්ත්‍රික් අපේක්‍ෂක රාජපක්‍ෂ මහතා හා ඔහුගේ සහචරයින් සම්බන්ධ දූෂණ රැසක් තවමත් විමර්ශනය කරමින් පවති.

එසේ තිබිය දී තම නිල වාහනයට මුදල් ගෙවා “ඔන්න මමත් මුදල් ගෙව්වා” යැයි පැවසීම විහිළුවකි. ප්‍රෝඩාවකි. දේශපාලන වංචාවකි.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපති ධූරය දරන සමයේ පැවැති ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණ, පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ සඳහා ඔහු එදා පරිහරණය කළ නිල වාහනවලටත් මේ අන්දමට ගෙවීම් කිරීමට දැන් සූදානම් ද? නොඑසේ නම් ඒ මන්ද?

රනිල් වික්‍රමසිංහ මහතා වැනි ආදර්ශයක් සැපයීමට තරම් කෙනෙක් ඔහුගේ දේශපාලන සගයන් අතර නොසිටියේ ද?

එහෙත් එක් දෙයකට පමණක් අපට සතුටුවිය හැක.

එනම් යහපාලනය පිළිබඳව වූ වික්‍රමසිංහ මහතාගේ මූලධර්ම හා ආදර්ශ මහින්ද රාජපක්‍ෂ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්‍ෂකයා පිළිගෙන ඇති බව තහවුරු වීමය.