අයි. එස්. සංවිධානය සමඟ එක්ව සටන් වැදී මිය ගිය ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස සැලකෙන ගලේවෙල ප්‍රදේශයේ පදිංචි මූස්ලි ලිලම්දන් නැමැත්තාගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන් රටින් පළා ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ. අයි.එස්. සංවිධානය අබු සයිලානි ලෙස හඳුන්වා ඇති මුස්ලි ලිලම්දන් සිරියාවේ ගුවන් ප්‍රහාරයකින් මිය ගිය බවට පසුගිය දා වාර්තා විය.
ඔහුගේ ජාතික හැඳුනුම්පතේ තොරතුරු ඔස්සේ පොළීසිය විමර්ශනයක් ආරම්භ කළේ ඉන් අනතුරුවයි. ඒ අනුව මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මූලිකත්වයෙන් අදාළ පරීක්ෂණ දියත් කෙරුණි. එම පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ ශ්‍රී ලාංකික අයි.එස්. සාමාජිකයාගේ බිරිඳ මෙන්ම දරුවන් 5 දෙනා පාකිස්තානයට නික්මී ඇති බවයි.
37 හැවිරිදි මොහුගේ උපන්ගම මහනුවර – වැරැල්ලගම වන අතර ඔහුගේ බිරිඳගේ පදිංචිය කොළඹයි. මූස්ලි ලිලම්දන් නමැති නම ඔහු භාවිත කර ඇත්තේ ගලේවෙල ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක විදුහල්පතිවරයෙකු ලෙස සේවය කරන සමයේදියි.







