FAST NEWS

24×7 Around the Globe

උතුරු මහ ඇමතිට එරෙහි පෙත්සම ඔක්තොබර් 03 වැනිදා විභාගයට ගැනේ..

උතුරු පළාත් ධීවර, ප්‍රවාහන, වෙළෙඳ සහ වාණිජ, ග්‍රාමීය සංවර්ධන, මාර්ග සංවර්ධන අමාත්‍යාංශ ධුරයෙන් තමා ඉවත් කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතාට එරෙහිව බී. ඩිනෙශ්වරන් මහතා ගොනු කළ රිට් පෙත්සමක් ලබන ඔක්තෝබර් මස 03 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය ඊයේ (19) තීරණය කෙළේය.

උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේශ්වරන්, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජි‍නෝල්ඩ් කුරේ ඇතුළු හත්දෙනකු මෙහි වගඋත්තරකරුවෝ වෙති.

උතුරු පළාත් ඇමැතිවරයකු ලෙස කටයුතු කළ තමා එම ඇමති ධුරයෙන් ඉවත් කිරීමට මහ ඇමැතිවරයා කටයුතු කළ අතර එය නීති විරෝධී බවත් එලෙස පළාත් සභා ඇමැතිවරයකු ධුරයෙන් පහ කිරීමේ හැකියාව ඇත්තේ ආණ්ඩුකාරවරයාට පමණක් වන අතර මහ ඇමැතිවරයාට එවැනි බලයක් නැති බව පෙත්සම්කරු සිය පෙත්සම මගින් සඳහන් කරයි.

එබැවින් අදාළ අමාත්‍ය ධුරවලින් තමා ඉවත් කිරීමට වන ඇමැතිවරයා ගත් තීරණය බල රහිත කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත්, මේ පිළිබඳව කරුණු දැක්වීමට අධිකරණයේ පෙනීසිටින ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කරමින් නොතීසි නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියි.

(DE සිල්වා)