FAST NEWS

24×7 Around the Globe

ස්වාධීනත්වය හා ස්වෛරීත්වය සුරකමින් ජාතික සංහිදියාව ගොඩනගනවා..

රටේ ස්වාධීනත්වය හා ස්වෛරීත්වය සුරකමින් ජාතික සංහිදියාව ගොඩනැගීම සඳහා යන ගමන සෙමෙන් නමුත් සාර්ථක ලෙස පැහැදිලි ජයග්‍රහණයක් ලබා ගැනීම සඳහා රජයේ ඉලක්කය බවත් ඒ සඳහා එක්සත් ජාතීන්ගේ ගෞරවනීය සහාය අපෙක්ෂා කරන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ 72 වැනි මහ සැසිවාරය අමතමීන් සඳහන් කළේය.

ජාතික සංහිඳියාව ගොඩ නැගීමේදි ඇතැම් අන්තවාදී පිරිස් වේගවත් මෙන්ම කෙටිකාලීන විසඳුම් බලාපොරොත්තුවුවද වසර 30කට ආසන්න කාලයක් පැවැති යුද්ධය හේතුවෙන් රට අභ්‍යන්තයේ ජනතාව අතර ඇතිවූ බේදීම් ඉවත් කර එම ජන කොටස් අතර විශ්වාසය හා සහෝදරත්වය ගොඩනැගීම කෙටි කාලයක් තුළ ඉටුකළ නොහැකි බවද ඔහු සඳහන් කළේය.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරමින් පසුගිය වසර දෙක හමාර තුළ රජය සාර්ථක ගමනක් පැමිණි බවත් ඉදිරි කාලය තුළද එම ගමන තවදුරටත් ශක්තිමත් කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

එසේම බලයේ සිටියදීම තම විධායක බලතල අත්හළ හා එය පාර්ලිමේන්තුවට පවරා දීමට තමන් කටයුතු කළ බවත් බලය අත්හැරීම පිළිබඳව ආදර්ශය තමන් ජාත්‍යන්තර දේශපාලනය සඳහා ලබාදී ඇති බවත් හෙතෙම පැවැසීය.

තනි බලයක් භාවිත කරමින් අඥාදායක ගමනක් ගිය පාලනයක් වෙනස්කර රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට රජය කටයුතු කළ බවත් ජනපතිවරයා සිය දේශනයෙන් වැඩිදුරටත් ප්‍රකශ කළේය.

(DE සිල්වා)