FAST NEWS

24×7 Around the Globe

ලාංකික අනවසර සංක්‍රමණිකයන් 33 දෙනා අවදි වීමේ අනතුරු ඇඟවීමක් බව පීටර් ඩටන් කියයි

ඔස්ට්‍රේලියාව හෝ නවසීලන්තය සිය ගමනාන්තය ලෙස ඉලක්ක කරගත් ශ්‍රී ලාංකික අනවසර සංක්‍රමණිකයන් 33 දෙනකු රැගත් බෝට්ටුවක් ඉන්දුනීසියා මුහුදු තීරයේ දර්ශනය වීම තම රටවලට සිදු කෙරුණු අවදි වීමේ අනතුරු ඇඟවීමක් බව ඕස්ට්‍රේලියා ආගමන හා විගමන ඇමති පීටර් ඩටන් කියයි. ‘මේ මිනිස් ජාවාරම්කරුවන් අසරණ මිනිසුන්, ගැහැනුන් හා දරුවන් ජාවාරම් කරමීන් මුදල් උපයාගන්නට හදනවා ‘ යයි ඔහු කියයි.

ඉන්දුනීසියා ධීවරයකුගේ දායකත්වයෙන් ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රාවේ මුහුදු තීරයේ ශ්‍රී ලාංකිකයන් 33 දෙනකු සමඟ ආපදාවට පත්ව තිබු යාත්‍රාවක් බේරා  ගැනීමට හැකි වී තිබෙයි. එහි ශ්‍රී ලංකික පිරිමින් 32 ක් හා එක කාන්තාවක වූ බව පොලිසිය කියයි. මෙම යාත්‍රාව යාන්ත්‍රික දෝෂයකට පත් වූ බවත්, තමනට උපකාර වන ලෙස එහි සිටි පිරිස ඉල්ලා සිටි බවත් මේ සඳහා මැදිහත් වූ ඉන්දුනීසියා ධීවරයා පවසා ඇත. තමන් ශ්‍රී ලංකාව හැරදා නවසීලන්තයට හා ඔස්ට්‍රේලියාවට යාමට පැමිණි බවද මෙම පිරිස පොලිසියට පවසා ඇත. අදාළ ධීවරයාට මෙම බෝට්ටුව හමුවන විට එය මුහුද මද පා වෙමින් තිබු බව ඔහු පවසා ඇත.

චීන ජාතිකයන් හය දෙනකු හා පැපුවා නිව් ගිනියා මිනිස් ජාවාරම්කරුවකු රැගත් අනවසර බෝට්ටුවක් ක්වින්ස්ලන්තයේ සායිබායි දුපත ආසන්නයේදී පසුගිය 20 වැනිදා අත්අඩංගුවට ගැනීමට ඕස්ට්‍රේලියා ස්වර්ණ දේශ සීමාආරක්ෂක බළකාය කටයුතු කර ඇති බවද ඕස්ට්‍රේලියා ආගමන හා විගමන ඇමති පීටර් ඩටන් තහවුරු කළේය. මෙම පිරිස රැගෙන ආ පුද්ගල ජාවාරම්කරුවන්ට එරෙහිව චෝදනා එල්ල කර ඔවුන් ක්වීන්ස්ලන්ඩ් හි උසාවියට යොමු කෙරුණු අතර මෙම පිරිස අත්අඩංගුවේ රඳවා තබන්නට අධිකරණය නියෝග ලබා දී තිබෙයි. චීන ජාතිකයන් පස්දෙනා ආපසු චීනය වෙත යවා ඇති බවද ඔහු පවසා සිටියේය.