පෞද්ගලික ආරවුලක් දුරදිග යාම මත ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයක් නිසා ,අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය සහ තාක්ෂණ පීඨය අද (31) දින නියමයක් නොමැතිව වසා දැමීමට පියවර ගත් බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.එම්.එම්.නාජිම් මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
එ අනුව සිසුන්ට තාක්ෂණ පීඨයේ සහ නේවාසිකාගාරවල රැඳී සිටීම අද (31) උදෑසන 06 සිට ක්‍රියාත්මකවන පරිදි තහනම් කළ බව ද උපකුලපතිවරයා පැවසීය.
තාක්ෂණ පීඨයේ නේවාසිකාගාරය තුළට කඩාවැදුනු 200ක පමණ ඉංජිනේරු සිසූන් පිරිසක් තාක්ෂණ පීඨ නේවාසිකාගාරයේ රැදී සිටි සිසුන් 70 දෙනෙකුට පමණ පහරදී නේවාසිකාගාරයේ දේපලවලටද හානි කර ඇති බවට විශ්ව විද්‍යාල ආරංචි මාර්ග කියයි.
ඊයේ (30) දිනයේ ඇති වූ මේ ගැටුමෙන් සිසුන් 19 දෙනකු අක්කරෙයිපත්තුව රෝහල වෙත ඇතුළත් කර ඇති බවත් ඉන් කිහිප දෙනකු අද (31) උදෑසන වන විට ප්‍රතිකාර ගෙන පිටව ගොස් ඇති බවද වැඩි දුරටත් වාර්තා වේ.
(DE සිල්වා)








