FAST NEWS

24×7 Around the Globe

වීරතුංගට හා පැල්පිටට එරෙහි සිල් රෙදි නඩුවේ තීන්දුවට දින නියම කෙරේ..

පසුගිය ජනාධිපතිවරණය සමයේදී සිල් රෙදි බෙදා දීමේ වැඩසටහනක් සදහා ශ්‍රි ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් ලබා ගෙන එම මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනා ලැබ සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් අනුෂ පැල්පිට යන අයට එරෙහි නඩුවේ තීන්දුව සැප්තැම්බර් මස 07 දා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය අද (24) නිවේදනය කළේය.

අද දින මෙම නඩුව කොළඹ මහාධිකරණයේදි කැදවු අවස්ථාවේ විත්ති පාර්ශවය සහ පැමිණිලි පාර්ශවය විසින් නඩුවට අදාල ලිඛිත දේශන අධිකරණයේ හමුවේ ගොනු කරනු ලැබීය.

ඒ අනූව මීට පෙර විත්තියේ සහ පැමිණිලි පාර්ශවයේ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි විමසීම අවසන් ව තිබිම හේතුවෙන් මෙම නඩුවට තීන්දුවට ලබා දීමට කොළඹ මහාධිකරණය දින නියම කළේය.

වර්ෂ 2014 ඔක්තොම්බර් මස 30 සහ 2015 ජනවාරි මස 5 දින යන කාල සීමාව සිදුකළැයි කියන මෙම චෝදනා යටතේ විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණයේ පොදු දේපල පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ අධිචෝදනා ගොනු කර තිබුණි.

එසේම පසුව එම පොදු දේපල පනතේ චෝදනා ඉවත් කර ගැනීමට නීතිපතිවරයා කටයුතු ක‍ළේය.

ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහය 386 වගන්තිය යටතේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව යටතේ මෙම නඩුව පවත්වාගෙන යාමට නීතිපතිවරයා කටයුතු කළේය.

(DE සිල්වා)