FAST NEWS

24×7 Around the Globe

අර්ජුන් ඇලෝෂියස් සහාය ඉල්ලුවා – ඩයස්

පසුගිය ජුනි 30 දින අර්ජුන් ඇලෝෂියස්‌ මහතා හමුවූ අවස්‌ථාවේ ඔහු තම සහාය ඉල්ලා සිටි බවත් ඒ අනුව වැදගත් තොරතුරු සහ සාක්‍ෂි සැඟවීම ඔහු ඉල්ලා සිටින සහාය බව තමාට හැඟී ගිය බවත් පෑන්ඒෂියා බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රිචී ඩයස්‌ මහතා ඊයේ (19 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් ප්‍රකාශ කළේය.

ඉදිරි සති දෙක ඉතාම තීරණාත්මක නිසා ඇලෝෂියස්‌ මහතා තම සහාය ඉල්ලා සිටි බවත් ,එම හමුව සිදු වූයේ අර්ජුන ඇලෝෂියස්‌ මහතා තමාගෙන් දුරකථනයෙන් සිදු කළ ඉල්ලීමට අනුව බවද ඩයස්‌ මහතා කීවේය.

මේ වන විටත් තමා ජනාධිපති බැඳුම්කර කොමිසමේ විමර්ශන අංශයට තොරතුරු ලබාදීම සඳහා කැඳවා තිබූ බවද ඒ අනුව 2017 මාර්තු 21, 22 සහ 23 යන දින තුනේ තමා පොලිස්‌ නිලධාරීන්ට ප්‍රකාශ ලබා දී තිබූ බවද තමා කොමිසමට කැඳවා ඇති බව ඇලෝෂියස්‌ මහතා දැන සිටි බව පෙනුන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඩයස්‌ මහතා කීවේය.

ජුනි 30 දිනෙන් පසුවත් අර්ජුන ඇලෝෂියස්‌ සහ නිමල් පෙරේරා යන දෙදෙනා ගෙන්ම තමාට දුරකථන ඇමතුම් ලැබුණු බවද එම දෙදෙනාම තමා කොමිසම හමුවට සාක්‍ෂි දීම සඳහා කැඳවීමට ඉඩ ඇති බව දැන සිටි බව තමා සිතන බවද පෑන් ඒෂියා බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රිචී ඩයස්‌ මහතා තවදුරටත් කීවේය.

පර්පෙචුවෙල් ට්‍රෙෂරීස්‌ සමාගම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ නිහාල් ප්‍රනාන්දු මහතා සහ නීතීඥ රොමාලි තුඩාවේ මෙනවියද සාක්‍ෂිකරුගෙන් ප්‍රශ්න ඇසූහ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වැඩ තහනමට ලක්‌ව සිටින ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්‍ෂවරයෙකු වන සමන් කුමාර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ හර්ෂණ නානායක්‌කාර මහතා තමාට කොමිසම හමුවේ සලකුණු කරන ලද ඇතැම් ලේඛන අවශ්‍ය බවට ඉල්ලීමක්‌ කළ අතර ඊට ප්‍රතිචාර වශයෙන් කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා කීවේ නියමිත ගාස්‌තු ගෙවා අදාළ ලේඛන ගත හැකි බවකි.

කොමිසම අද (20) ‍පෙරවරු 10.00 ට යළි රැස්‌වේ.