FAST NEWS

24×7 Around the Globe

ලෝක කුසලානය හා ලාහෝර් ප්‍රහාරය ගැන පරීක්ෂණ පැවැත්වීමට සුදානම්..

ලිඛිතව ඉල්ලීමක් කරන්නේනම් 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය පිළිබඳ මෙන්ම ලාහෝර් ප්‍රහාරය පිළිබඳවද පරීක්ෂණ පැවැත්වීමට තමා සූදානම් බවද ක්‍රීඩා අමාත්‍යවරයා අද (19දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද  අලුත්ගමගේ මහතා අමාත්‍යධුරය දරන සමයේ සිදු වූ මෙම සිදුවීම් සම්බන්ධයෙන් ඔහුට පරීක්ෂණ පැවැත්වීමට හැකියාව තිබුණු බවත්,එසේ නොකර දැන් පරීක්ෂණ ඉල්ලා සිටීම නිශ්ඵල ක්‍රියාවක් බවත් අමාත්‍යවරයා කීවේය.

“වැරදි කරනවානම් වැරදිකරුවන් ආරක්ෂා කරන්න මම සූදානම් නැහැ. ඇමතිවරයා විදිහට මට ක්‍රීඩාව ගැන කතාකරන්න අයිතියක් නැත්නම් මේ ක්‍රීඩා ඇමතිකමේ මම ඉඳලා තේරුමක් නැහැ. මේවගේ තිබෙන ප්‍රශ්න ගැන මම කතාකරන්න අවශ්‍යයි. දැන් මේ කියන්නේ මම කතා කරන්න එපා කියලද? ඒවාට ක්‍රීඩකයෝ ඇවිත් මැදිහත් වෙන්නේ නැතිව ඔවුන් ඔවුන්ගේ වැඩ ටික කරගත්තානම් මේ ප්‍රශ්න මේ තරම් දුරදිග යන්නේ නැහැ.

හිටපු ක්‍රීඩා ඇමතිතුමාට මම කියන්නේ එතුමගෙ කාලයේදී මෙය සිදුවුණේ. ඒ නිසා එතුමා දැන් පරීක්ෂණ ඉල්ලලා වැඩක් නැහැ.  ඒ කාලෙ කරන්න තිබුණා. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ලිඛිත ඉල්ලීමක් ලැබුණොත් අපට සලකා බලන්න පුළුවන්. “

(DE සිල්වා)