FAST NEWS

24×7 Around the Globe

විද්‍යා ඝාතන නඩුව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් යටතේ අද සිට විභාගයට…

2015 මැයි 12දා පුන්කුඩුතිව් හි දී ශිවලෝගනාදන් විද්‍යා නම් පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් සමූහ දූෂණය සිදු කර ඝාතනය  කිරීම සම්බන්ධ නඩු විභාගය ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ අද (28) යාපනය මහාධිකරණයේ දී ආරම්භ වෙයි.

මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතාගේ සභාපතිත්වයෙන් මහාධිකරණ විනිසුරු අන්තලිංගම් ප්‍රේමශංකර් සහ මහාධිකරණ විනිසුරු මානික්‍යවාසගර් එලන් චෙලියන් මහත්වරුන් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලට අයත් වෙති.

අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා විසින් මැයි 22 දා ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල පත් ක‍ළේය.

මේ ඝාතනය සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කරන ලෙසට නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබුණි.

වැඩබලන නීතිපති ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතාගේ ප්‍රධානත්වයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පී. කුමාරරත්නම් සහ රජයේ අධිනීතිඥ එන්. නියාස් මහත්වරු සහ රජයේ අධිනීතිඥ ජයලක්ෂි සිල්වා සහ රජයේ අධිනීතිඥ මාදිනී විග්නේෂ්වරන් මහත්මීහු පැමිණිල්ල මෙහෙයවනු ලැබයි.

විද්‍යා දැරිය පැහැරගෙන යාමට කුමන්ත්‍රණය කිරීම, සමූහ ස්ත්‍රී දූෂණයට කුමන්ත්‍රණය කිරීම, මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීම, අයුතු ජනරාශිය ඇතුළු ‍චෝදනා හතළිස් එකක් විත්තිකරුවන් නමදෙනාට එරෙහිව ගොනු කර තිබේ.

(DE සිල්වා)