FAST NEWS

24×7 Around the Globe

සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩාවැදුණු සරසවි සිසුන් 100 දෙනෙකු හඳුනාගැනේ..

සයිටම් ආයතනයට එරෙහිව පසුගිය බදාදා පැවති විරෝධතාව අතරතුර සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයට ඇතුලු වී පොදු දේපළවලට හානි කරමින් කළහකාරී ලෙස හැසිරුණු විශ්වවිද්‍යාල සිසුන් 100 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති බව පොලීසිය පැවැසීය.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය යටතේ පොලිස් කණ්ඩායම් 5 ක් යොදවා ඇති බවයි.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රය තුළ සහ අවට පිහිටා ඇති සී.සී.ටී.වී දර්ශන මෙන්ම එම අවස්ථාව රූගත කළ වීඩියෝ දර්ශනද විශ්ලේෂනය කරමින් සිටින බව එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී දේපල සහ වාහනවලට අලාභ හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ දිනයේද සරසවි සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

කෙසේ වෙතත් පොදු දේපළවලට හානි කිරීමේ චෝදනාව මත නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඇතැම් අවස්ථාවලදී සිසුන්ගේ නිවෙස්වලට ගොස් පරීක්ෂණ සිදුකිරීමට සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කලේය.