FAST NEWS

24×7 Around the Globe

රාමසාන් උත්සවය අදයි..

ලොව පුරා විසිරි සිටින ඉස්ලාම් බැතිමතුන් රාමසාන් උත්සවය අද(26) උත්කර්ෂවත් ලෙස සමරනු ලබයි.

පුරා මාසයක් උපවාස ශීලය රැකිමෙන් පසු නව සද දැකිමත් සමග ඇරඹෙන රාමසාන් උත්සවය මුස්ලිම් ජනතාවට ආගමික වශයෙන් සුවිශේෂි දිනයක් වේ.

රාමසාන් උත්සවය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසා සිටියේ තමන්, තමන්ටම අවංක වීම තුලින් මනුෂත්වය වර්ණවත් කළ හැකි බව රාමලාන් වතාවත් අපට සිහිපත් කරන බවයි.

ආගමික අධ්‍යාත්මික සහ සමාජයීය පුරුෂාර්ථයන් මත පදනම්ව සියල්ලන් කෙරෙහි සාධාරණ වීම එමඟින් අපේක්ෂිත බවද ජනාධිපතිවරයා නිකුත්කළ පණිවුඩයේ තවදුරටත් දැක්වෙයි.

එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රාමසාන් දින සුබ පැතුම් පණිවුඩයක් එක් කරමින් පවසා සිටියේ රාමසාන් උපවාස සමයේ කායික සහ මානසික වශයෙන් අප වර්ධනය කරගන්නා වටිනාකම් ජීවිතයේ සෑම මොහොතකම පවත්වාගැනීමට කටයුතු කළ යුතු බවයි.

මේ අතර සහෝදරත්වයේ නාමයෙන් එකම මානව ප්‍රජාවක් ලෙස අත්වැල් බැඳගැනීමට රාමසාන් දිනය ශක්තියක් වනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පණිවුඩයක් නිකුත් කරමින් පවසන අතර ඔවුන් කියා සිටියේ රාමසාන් උත්සවය මගින් ප්‍රකට කරන්නා වූ තම සම්පත්, සහෝදරත්වයේ පදනම මත සෙසු අය අතරේ සමානව බෙදී යා යුතුය යන ආදර්ශය ඉස්ලාම් බැතිමතුන්ට පමණක් නොව සෙසු ජනතාවටද වැදගත් වන බවයි.

ඉස්ලාම් ධර්මයේ පංචමහා වගකීම් අතර උපවාස ශීලයට සුවිශේෂ ස්ථානයක් හිමි වේ.