FAST NEWS

24×7 Around the Globe

සයිටම් සමුළුව අතරතුර වෛද්‍යවරුන් අතර ගැටුමක්..

සයිටම් අර්බුදය සම්බන්ධයෙන් කොළඹ පැවති විද්වත් සමුළුවක් අතරතුර වෛද්‍යවරුන් දෙපිරිසක් අතර ගැටුමක් කොළඹ පදනම් ආයතනයේදී ඇති වී තිබේ.

එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ මෙහිදී පහරකෑමට ලක් වූ එක් වෛද්‍යවරයෙකු ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි.

එහි අවසන් අදියරේදී තේ පැන් සංග්‍රහයක් පවත්වා ඇති අතර, එය අතරතුරදී වෛද්‍යවරුන් දෙපිරිසක් අතර කිසියම් කරුණක් සම්බන්ධයෙන් බහින් බස්වීමක් හට ගෙන ඇති අතර පසුව එය දුරදිගගොස් පහරදීමක් බවට පත්ව ඇති බව සදහන්ය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අප රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් විමසීමක් කළ විට එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද ප්‍රකාශ කළේ තේ පැන් සංග්‍රහයේදී තේ කෝප්පයක් හිස මතට වැටීමෙන් වෛද්‍යවරයෙකු මෙලෙස රෝහල් ගත කර ඇති බවයි.

කෙසේ වෙතත් කුරුදුවත්ත පොලීසියෙන් අප කළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සදහන් කළේ රෝහල් ගත වූ වෛද්‍යවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගත් අතර ඔහු බහින් බස්වීමක් නිසා අදාළ සිද්ධිය ඇති වූ බව ප්‍රකාශ කළ බවයි.

සිද්ධිය සමතයකට පත්වූ බවත්, වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය නොමැති බවත් රෝහල් ගත වූ වෛද්‍යවරුන් දැනුම් දුන් බව කුරුදුවත්ත පොලිසියේ අදාළ නිලධාරියා වැඩිදුරටත් පවසා සිටියේය.