FAST NEWS

24×7 Around the Globe

ප්ලාස්ටික් සහල් ගැන කියූ අය හොයන්න CID යට පැමීණිලි..

පාකිස්ථානයෙන් ආනයනය කරන ලද බාස්මතී සහල්වල ප්ලාස්ටික් අංශු අඩංගු බවට සමාජ ජාල වෙබ් අඩවි වලින් ප්‍රචාරයන් ගෙන ගිය පුද්ගලයන්ට  එරෙහිව ලබන සතිය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බව සතොස සභාපති ටී. එම්. කේ. බි. තෙන්නකෝන් මහතා පැවසී ය.

එම ප්‍රකාශ හේතුවෙන් පසුගිය දිනවල රට තුළ විශාල ආන්දෝලනයක් හටගත් අතර පාරිභෝගිකයන්ගෙන් ඒ සම්බන්ධයෙන් පැමිණිලි රාශියක් පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත ලැබි තිබිණි.

ඒ තත්ත්වය මත අදාළ සහල් තොගය සම්බන්ධයෙන් නියමිත පර්යේෂණ අවසන් වන තුරු එම සහල් අලෙවි කිරීම තාවකාලිකව නැවැත්වීමට ද එම අධිකාරිය පියවර ගෙන තිබිණි. ඒ අනුව මෙරට සියලු ම සතොස අලෙවි සැල්වලින් ලබා ගන්නා ලද එම සහල් සාම්පල කාර්මික තාක්ෂණ ආයතනයේ සහ බත‍ලේගොඩ සහල් පර්යේෂණ ආයතනය තුළ පරීක්ෂා කර බැලූ බවත්, සහල්වල ප්ලාස්ටික් අඩංගු නොමැති බව එම පර්යේෂණ වලින් අනාවරණය වී ඇති බවත්, සතොස සභාපතිවරයා කීය.

එබැවින් මෙවැනි අසත්‍ය ප්‍රචාර ගෙන ගිය පුද්ගලයන්ට එරෙහිව, අදාළ වාර්තාවල කරුණු ද පදනම් කරගනිමින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට තීරණය කර ඇති බව ද සභාපති ටී. එම්. කේ. බී. තෙන්නකෝන් මහතා පැවසී ය.

(DE සිල්වා)