FAST NEWS

24×7 Around the Globe

ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලියාපදිංචි ගාස්තු සංශෝධනය කෙරේ..

ඖෂධ, වෛද්‍ය උපකරණ සහ සීමාස්ථ නිෂ්පාදන ලියාපදිංචි කිරීමේ දී අය කරන ගාස්තු ජාතික ඖෂධ නියාමන අධිකාරිය වසර 08 කට පසු ඊයේ (14) මධ්‍යම රාත්‍රි සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.

ඒ අනුව අදාල ගැසට් පත්‍රයට සෞඛ්‍ය, පෝෂණ හා  දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතසන් තබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ලියාපදිංචි කිරීමේ ගාස්තු මින් පෙර සංශෝධනය කර ඇත්තේ 2009 වසරේදී බවත් ගුණාත්මක හා කාර්යක්ෂම සේවාවක් ඉටු කිරීමේ අරමුණින් ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගෙන බවද පැවසේ.

ඖෂධ, වෛද්‍ය උපකරණ සහ සීමාස්ථ නිෂ්පාදන ලියාපදිංචි කිරීමේ ඉල්ලුම් පත්‍රය ලැබීමෙන් පසු එය ලියාපදිංචි කිරීමේ සහතිකය නිකුත් කරන තුරු අය කරන ගාස්තු මෙහිදී සංශෝධනය කර ඇති අතර, බාහිර පාර්ශ්ව වලින් විශේෂඥ දැනුම ලබාගැනිමේ දී ගෙවීමට සිදුවන වියදම් ද ඊට ඇතුලත් කර ඇති බව සඳහන්.

ඖෂධ සහ වෛද්‍ය උපකරණ නිෂ්පාදන දේශිය සහ විදේශීය සමාගම් අදාල ගාස්තු ඇමරිකානු ඩොලර් වලින් හෝ ඊට අනුරූප ශ්‍රී ලංකා මුදල් වලින් ගෙවිය යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එසේම අදාල ගාස්තු සංශෝධනය පිළිබදව 0112695173 යන දුරකථන අංකය ඔස්සේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය  අමතා තොරතුරු ලබාගත හැක.

(DE සිල්වා)