FAST NEWS

24×7 Around the Globe

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලා ඥානසාර හිමියෝ ශ්‍රේෂ්ඨාධිකරණයට යති…

තමන් වහන්සේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (13)  මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් තමා සම්බන්ධයෙන් පවත්වන විමර්ශනයන් අවසන් වන තෙක් හා ඒ සම්බන්ධයෙන් නීතිපති ගේ උපදෙස් ලැබෙන තෙක් අත්අඩංගුවට ගැනීම වලක්වන්නැයි අදාළ පෙත්සම මගින් ඉල්ලා ඇත.

එසේම එම කොට්ඨාස විසින් තමන් අත්අඩංගුවට ගත හොත් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම සිදුව ඇති බවට ප‍්‍රකාශ කරන්නැයිද උන්වහන්සේ පෙත්සමින් ඉල්ලා සිටිති.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සිව්දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

පසුගිය දිනවලදී දිවයිනේ වාර්තා වූ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් තමන්ට චෝදනා එල්ල වී ඇති බවත් ,ඒ සම්බන්ධයෙන් පොලීසියේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය  විසින් විමර්ශන කටයුතු සිදු කරමින් පවතින බව දැනගන්නට ලැබුණු බවද අදාළ පෙත්සමේ සඳහන් වේ.

එම විමර්ශනයන්ට අවසන්ව නොතිබියදී තමන් අත්අඩංගුවට ගැනීමට වගඋත්තරකාර සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය  කටයුතු කරන බවත් ,පෙත්සම්කාර ඥානසාර හිමියෝ සිය පෙත්සමින් වැඩිදුරටත් පෙන්වා දෙති.

(DE සිල්වා)