FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ සමයේ ‍FICD බෑ – සුසිල් මැ.කො දැනුවත් කරයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයින් අද පස්වරුවේ මැතිවරණ කොමසාරිස් හමුවී මුහුණදීමට සිදුව ඇති ගැටළු ගණනාවක් පිළිබඳ කොමසාරිස්වරයා දැනුවත් කළ බව එම සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.

සන්ධානයේ පක්ෂ නායකයින්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටළු මතුව ඇති බවත්,හිටපු අමාත්‍යවරුන් ඇතුළු සන්ධානයේ අපේක්ෂකයින්ගේ ආරක්ෂාව මේවන විට ඉවත් කර ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.

එසේම ඩලස් අලහප්පෙරුම මහතා විසින් පසුගියදා මාතර කච්චේරියේදී නාමයෝජනා ලබාදුන් අවස්ථාවේදී එජාප ආධාරකරුවෙකු විසින් මරණීය තර්ජන එල්ල කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස මෙහිදී කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටි බව ප්‍රේමජයන්ත් මහතා සඳහන් කළේය.

අනෙක් අතට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට තම සන්ධානයේ අපේක්ෂකයින් කැඳවීම තුළින් ඒවාට විශාල ප්‍රසිද්ධියක් ලබාදීමෙන් ඒ හරහා සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අඩපණ කිරීමේ සූදානමක් පවතින බව ඔහු කියා සිටියේය.

ඇතැම් විට පවතින්නේ හුදු චෝදනා පමණක් බවත්, මැතිවරණ කාලයෙන් පසුව ඕනෑම අයෙකු කැඳවා පරීක්ෂණ පැවැත්වීමේ ගැටළුවක් නොවන බවද ප්‍රේමජයන්ත් මහතා සඳහන් කළේය.

මැතිවරණ කොමසාරිස්වරයා මේ සම්බන්ධයෙන් නිසි පියවර ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත්, පැමිණිලි කළ අවස්ථාවේදීම ඇතැම් කරුණු සම්බන්ධයෙන් කොමසාරිස්වරයා ක්‍රියාත්මක වූ බවත් සුසිල් ප්‍රේමජයන්ත් මහතා වැඩිදුරටත් කියා සිටියේය.