FAST NEWS

24×7 Around the Globe

විපතට පත් ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය සතොසින් නොමිලේ දෙන්න සුදානම්..

ජල ගැලීමෙන් විපතට පත් ප්‍රදේශවල ජනතාවට බෙදා දීමට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය ලංකා සතොස ශාඛාවලින් සහ තොග ගබඩාවලින් හිඟයකින් තොරව නොමිලේ ලබා ගත හැකි බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත මෙම භාණ්ඩ නිකුත් කිරීමට කටයුතු යොදා ඇති අතර අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ විපතට පත්ව සිටින ජනතාවට කඩිනමින් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීම පහසු කිරීම සඳහා බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව ඕනෑම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයකට , කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයට, ලංකා සතොස මුලස්ථානයට හෝ ළඟම ඇති ලංකා සතොස අළෙවි සැළකට අවශ්‍ය තොග පිළිබඳව දැනුම් දීමෙන් අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගත හැකි බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චින්තක එස්.ලොකුහෙට්ටි මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙයි.

අවශ්‍ය තොග ලබා ගැනීමේ දී මුදල් ගෙවීමක් අවශ්‍ය නොමැති බවත් ආපදා අවස්ථාවන්හි ජනතාවට ලබා දෙන භාණ්ඩවල මුදල් පසුව රජය වෙතින් ප්‍රතිපූර්ණය කර ගැනීමට අපේක්ෂිත බවත් ලේකම්වරයා සඳහන් කර ඇත.