පවතින ආපදා තත්ත්වය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ පමණක් නාය යාම්වලින් පුද්ගලයන් 37 දෙනෙකු මිය ගොස් තිබේ.
දිස්ත්‍රික් ලේකම් යූ.ඩී. ජයලාල් ප්‍රකාශ කළේ තවත් 70කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බවයි.
මේ අතර ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ජල ගැලීම් සහ නායයාම් තත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගල මරණ 28 ක් වාර්තා වී ඇති බවයි.
එසේම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූ පිරිස් මුදා ගැනීම සඳහා යුද හමුදාවේ 300කට වැඩි භට පිරිසක් එක් කර ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසන ලදි.
හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න කියා සිටියේ සහන සේවා සදහා නාවික හමුදාවේ නිලධාරීන් 150කට වැඩි පිරිසක් ද එක් කර ඇති බවයි.
විපතට පත්වූවන් මුදා ගැනීම සඳහා ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානා දෙකක් ද, අවශ්‍ය භට පිරිස් ස්ථාන ගත කිරිම සඳහා එම්.අයි. 17 යානා දෙකක් ද යොදවා ඇති බව ඔහු සඳහන් කලේය.
එමෙන්ම හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ආපදාවට ලක්වූවන් සහ එම ස්ථාන පිළිබදව තොරතුරු රැස් කිරීම සඳහා ගොඩබිමට සහ ජලයට ගොඩබැස්සවිය හැකි යානාවක් ද මෙහෙයුම් සඳහා යොදවා ඇති බවයි.
එසේම 0112 343 970 දුරකථන අංකයෙන් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ගුවන් හමුදාවේ සහාය ලබා ගත හැකියාව තිබේ.
මේ අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අවදානම් තත්ත්වයට මුහුණදීමට විශේෂ ආපදාකරණ කමිටුවක් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පත් කර තිබේ.
ඔවුන් සඳහන් කළේ ආපදා තත්ත්වය යටතේ විවිධ හදිසි අනතුරු, දියේ ගිලීම්, වසංගත රෝග පැතිර යාමේ අවදානම් මතුවිය හැකි බවයි.