FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් දීමට එරෙහි යෝජනාව පරාජය වෙයි..

ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් බදු සහනය ලබාදීමට එරෙහිව, යුරෝපා පාර්ලිමේන්තුවේදී කණ්ඩායමක් විසින් ඉදිරිපත් කළ යෝජනාව බ්‍රසල්ස් නුවර, යුරෝපා පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය.

යුරෝපා පාර්ලිමේන්තුවේදී මෙම යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමක් පැවැති අතර එහිදී වැඩි ඡන්ද 317 කින්  යෝජනාව පරාජයට පත්විය.

මේ අනුව යුරෝපා පාර්ලිමේන්තු සාමාජිකයන් 436 දෙනකුම, යළි ශ්‍රී ලංකාව ජී.එස්.පී. බදු සහනය ලබාදිය යුතුය යන මතයේ සිටි අතර ඒ අනුව ඔවුහු අදාළ යෝජනාවට එරෙහිව ඡන්දය භාවිත කළහ.

යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන්නේ සාමාජිකයන් 119 දෙනකු පමණි. මෙහිදී යුරෝපා පාර්ලිමේන්තු සාමාජිකයන් 22 දෙනකු ඡන්දය දීමෙන් වැළකී සිට ඇති බවද වාර්තා වේ.

ශ්‍රී ලංකාවට යළි ජී.එස්.පී. බදු සහනය ලබාදීම සඳහා මෙසේ යුරෝපා පාර්ලිමේන්තුවේ බහුතර සහය හිමිවීමත් සමග ලබන මැයි මසදී ශ්‍රී ලංකාවට එම සහනය ලැබෙන බව තවදුරටත් තහවුරු වී ඇති බව ජාත්‍යන්තර නිරීක්ෂකයන් පෙන්වා දේ.

ශ්‍රී ලංකාවට ජී.එස්.පී. සහනය ලබාදීම හෝ නොදීම පිළිබඳ යුරෝපා සංගමයේ අවසන් තීරණය ලබන මැයි මස 15 දින නිකුත් කිරීමට නියමිතය.

(ADS)