FAST NEWS

24×7 Around the Globe

සියලූ සහය ශ්‍රී ලංකාවට ලබාදෙන බව රුසියානු ජනපති පවසයි…

තුන්දින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් අතර ද්විපාර්ශවීය සාකච්ජා ඊයේ(23) පස්වරුවේ මොස්කව් නුවර ක්‍රෙම්ලින් මන්දිරයේදී පැවැත්වුන අතර රුසියානු – ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත්ව ඉදිරියට ගෙන යමින් ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සියලූම සහය ලබාදෙන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් එහිදී පවසා තිබේ.

දෙරටේ ආර්ථික, වෙළඳ මෙන්ම දේශපාලන සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සඳහා සහය ලබාදීමට කටයුතු කරන බව එහිදී රුසියානු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා – රුසියානු සබඳතා ආරම්භ වූයේ තම පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරණායකගේ මූලිකත්වයෙන් වන අතර, එය ඉදිරියට ගෙන යාම තම වගකීම බවයි.

එමෙන්ම, ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්විපාර්ශවීය සබඳතා ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 04 කටද අත්සන් තැබීම සිදු කර ඇති අතර මෙම හමුවේදී විශේෂ මතක සැමරුමක් ලෙස රුසියානු ජනාධිපතිවරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත 19 වන සියවසට අයත් මහනුවර යුගයේ රාජකීය කස්ථානයක් විශේෂ තිළිණයක් ලෙස පිරිනමා තිබේ.