FAST NEWS

24×7 Around the Globe

නීති විරෝධී පෙළපාළි රට පුරා – කැෆේ සංවිධානය

නාම යෝජනා භාර ගැනීමේ අවසන් දිනය වන අද දිනයේ දිවයිනේ බොහෝ ස්ථාන වලින් නීති විරෝධි පෙළපාලි පිළිබඳ තොරතුරු වාර්තා විය. සෑම මැතිවරණයකදීම තමන්ගේ බලය ප්‍රදර්ශනය කිරීම සඳහා නාම යෝජනා ලබාදීමේ දිනයේදී මේ ආකාරයට මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ හා කණ්ඩායම් පෙළපාළි පැවැත්වීම සිදුකරයි. නමුත් මෙවර මැතිවරණ දෙපාර්තමේන්තුව පෙළපාළි සම්බන්ධයෙන් දැඩි නීති රීති පනවා තිබුණ ද මෙලෙස පෙළපාලි පැවැත්වීම කණගාටුවට කරුණකි.

පොලිසිය ඊයේ සෑම දිස්ත්‍රික්කයකම නීති විරොධි ප්‍රචාරක ද්‍රව්‍ය ඉවත් කිරීමට කටයුතු කර තිබුණි. මේ තතවය නිසා ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට මැතිවරණ ප්‍රචාරක ද්‍රව්‍ය සහ කොඩිවැල් වලින් තොරව නාම යෝජනා ලබාදීමට ගමන් කරන ආකාරය දක්නට හැකිවිය. මැතිවරණ නීති උල්ලංගනය කරමින් නීති විරෝධි ලෙස පෙළපාලි වල නිරතවන්නන් පිළිබඳව සාක්ෂි ලෙස ඡායාරූප ලබාගැනීම සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුවත් පොලිස් දෙපාර්තමේන්තුවත් නිලධාරීන් යොදවා තිබීම අගය කළ යුතු කරුණකි.

අනුරාධපුර හම්බන්තොට මහනුවර යන දිස්ත්‍රික්කවල නාම යෝජනා භාර දීමේදී පෙළපාලි නොපැවැත්වුනු අතර මන්නාරම, වවුනියාව, නුවරඑළිය , කුරුණෑගල, පොලොන්නරුව, ගාල්ල, ආදී ප්‍රදේශවල නීති විරෝධි ලෙස පෙළපාළි පැවැති බවට තොරතුරු වාර්තා වෙයි‍. එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ යන දේශපාලන පක්ෂ මෙලෙස පෙළපාළි පවත්වා තිබේ.

මන්නාරම සිලාවතුර සිට මන්නාරම දක්වා වාහන 120 කට අධික සංඛ්‍යාවක් යොදාගෙන රථවාහන පෙළපාළියක් පවත්වා තිබේ.එජාප අපේක්ෂකයෙකු විසින් මෙම පෙළපාළිය පවත්වා ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයේ රථවාහන පෙළපාලි ගණනාවක් පැවැති බවට තොරතුරු වාර්තා විය වජිර අබේවර්ධන මහතා ගේ ආධාරකරුවන් උලුවිටිකේ සිට ගාල්ල දක්වා පෙළපාලියකින් ගමන් කළේය.එජනිස අපේක්ෂක රමේෂ් පතිරණ ගේ ආධාරකරුවන් කිතුලම්පිටිය සිට ගින්තොට දෙසට පෙළපාලියකින් ගමන් කර තිබේ. ක්‍රිෂාන්ත පුෂ්පකුමාර ගේ ආධාරකරුවන් අක්මීන ආසනයේ ස්ථාන දෙකක කණ්ඩායම් වශයෙන් රථ පෙළපාලි පැවැත්වු බව වාර්තා විය.

කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට නාම යෝජනා භාර දීමෙන් අනතුරුව එජාප අපේක්ෂක නාලක කොලොන්නේ වාහන 20 කින් පමණ කුරුණෑගලදී රථ වාහන පෙළපාලියන් පැවැත්වු අතර, ජවිපේ අපේක්ෂක රංජිත් පද්මසිරි ද පෙළපාලියකින් ගමන් කර තිබේ. මීට අමතරව එජාප සහ එජනිස ආධාර කරුවන් වවුනියාව නගරයේ මාර්ගය හරස් කරමින් පෙළපාළි පවත්වා තිබේ.

( මාධ්‍ය ඒකකය- කැෆේ සංවිධානය)