සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධිය සම්පූර්ණ කළ සිසුවියකට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට නීත්‍යනුකූල හිමිකමක් ඇතැයි පවසමින් 2017 ජනවාරි 31 වැනි දින දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව නියෝගය නීතියට පටහැනි බැවින් එය බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (13) විශේෂ අභියාචන පෙත්සමක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ගොනුකරනු ලැබිය.
ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ නීතිඥ අනුෂා පේරුසිංහ මෙනවිය ගොනුකළ ඇති එම පෙත්සමෙන් මෙසේ ද ප්‍රකාශ විය.
2017 ජනවාරි මස 31 වැනි දින අභියාචනාධිකරණය විසින් දෙන ලද නඩු තීන්දුවකින් එම නඩුවේ පෙත්සම්කාර වෛද්‍ය සිසුවියට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෛද්‍යවරයකු වශයෙන් ලියාපදිංචි වීමට නීතිමය හිමිකමක් ඇතැයි ප්‍රකාශ කොට ඇති බවත් එහෙත් එම තීන්දුව එලෙස ලබාදීමට අධිකරණයට සිදුව ඇත්තේ එම පෙත්සමේ වගඋත්තරකාර පාර්ශ්වයක් වන රජයේ අමාත්‍යවරුන් විසින් අධිකරණයට යථා තත්ත්වය වාර්තා කිරීමට ක්‍රියා නොකිරීම මගින් අධිකරණයට ඉදිරිපත්ව තිබූ කරුණු මත නිගමනයන්ට එළැඹීමෙන් බවත්ය.
වෛද්‍ය, ඉංජිනේරු, ගෘහ නිර්මාණ වැනි ක්‍ෂේත්‍රයන්හි නියැළෙන වෘත්තිකයින් සම්බන්ධයෙන් ඔවුන්ගේ පත්කිරීම් සිදුකිරීමේ දී ඒ පිළිබඳ මනා සැලකිල්ලක් නොදැක්වුවහොත් ඉන් සිදුවිය හැකි විනාශය සමස්ත රටට පමණක් නොව සමස්ත ලෝකයටම බලපාන බවත්, එබැවින් ලෝකයේ සෑම රටකම එම වෘත්තීන් සඳහා වෘත්තිකයින් යෙදවීමේ දී පූර්ණ වගකීමකින් එම කටයුත්ත සිදු කිරීම සඳහා බලාධිකාරීන් පිහිටුවා ඇති බවත් පෙත්සමේ සඳහන් වෙයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ද එවැනි බලධිකාරයක් බැවින් එම ආයතනයේ නිර්ණායකවලින් බැහැරව වෛද්‍ය වෘත්තිකයකු බිහිකිරීමට නොහැකි බව ද පෙත්සම කියා සිටී.
එබැවින් 2017 ජනවාරි 31 වැනි දින දෙන ලද තීන්දුව බල රහිත කරමින් එය ශුන්‍ය කරන ලෙසත්, එම පෙත්සම ද නිෂ්ප්‍රභ කරන ලෙසත් පෙත්සම මගින් ඉල්ලා ඇත.
(ADS)